මෝටර් රථ ප්‍රවාහන කාර්යාලයකට නොගොස්, රියදුරු බලපත්‍ර ලබාගැනීමට අවස්ථාවක්

මෝටර් රථ ප්‍රවාහන කාර්යාලයකට නොගොස්, රියදුරු බලපත්‍ර ලබාගැනීමට අවස්ථාවක්
  • SocialShare:

"ජාතික ජන බලවේග ආණ්ඩුවට වසරක් පිරීම නිමිත්තෙන්, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් ජනතාවට තෑග්ගක් දෙන්න සුදානම් කරලා තිබෙනවා. ඒ තමයි  මෝටර් රථ ප්‍රවාහන කාර්යාලයට නොගොස්ම, සිය බලපත්‍රය ලබාගැනීමට අවස්ථාව උදාකර දීම. පෙර පැවති ක්‍රමවේදය අනුව. ජනතාව ප්‍රවාහන වෛද්‍ය ආයතනයට පැමිණ සිය වෛද්‍ය වාර්ථාව ලබාගෙන, තම රියදුරු බලපත්‍රය ලබාගැනීම සඳහා නැවතත් මෝටර් රථ ප්‍රවාහන කාර්යාල වලට යායුතුයි. නමුත් අද දින සිට, නව රියදුරු බලපත්‍ර ලබාගැනීමට හෝ රියදුරු බලපත්‍රය අලුත් කිරීමට පැමිණෙන ජනතාවට, ප්‍රවාහන වෛද්‍ය ආයතනය තුලදීම අවශ්‍ය මුදල් ගෙවීමෙන්, තාවකාලික රියදුරු බලපත්‍රය  ලබාගත හැකි ආකාරයේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට හැකිවෙලා තිබෙනවා "යැයි ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් අමාත්‍ය බිමල් රත්නායක මහතා අවධාරණය කරයි. .

අමාත්‍යවරයා මෙම අදහස් දැක්වුයේ, අද ( 30) පෙරවරුවේ, නුගේගොඩ පිහිටි ජාතික ප්‍රවාහන වෛද්‍ය අයතනයේ පැවති උත්සව අවස්ථාවකට සහභාගි වෙමිනි.

මෙතෙක් පැවති ක්‍රමවේදය වෙනස් කරමින්, ජනතාවගේ සුබසිද්ධිය උදෙසා, ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන්ම තාවකාලික රියදුරු බලපත්‍ර ලබාදීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින්, වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය රත්නායක මහතා .....

"මෙම නව ක්‍රමවේදය තුළින් රියදුරු බලපත්‍ර ලබාගැනීමට පැමිණෙන පිරිසට  මෙම ස්ථානයෙන් වෛද්‍ය සහතිකය ලබාගෙන, වේරහැරට හෝ වෙනත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යාලයකට යාමට යන මුදල්, කාලය සහ ශ්‍රමය ඉතිරි වනවා සේම, මෙම ස්ථානයෙන්  සිය තාවකාලික රියදුරු බලපත්‍රය ලබාගැනීමට ගතවන්නේ විනාඩි 07 ක වගේ ඉතාමත් සුළු කාලයක්. ඉදිරියේදී මෙම කාලය විනාඩි 05 කට වගේ සීමාවේවි. ඉදිරි මාස කිහිපය වනවිට රටේ අනෙකුත් ප්‍රදේශ වලටත් මෙම නව ක්‍රමවේදය අනුගත කිරීමට හැකිවේවි. අපේ ප්‍රධාන අරමුණ වන්නේ ජනතාවට සුවපහසු ජීවන රටාවක් හිමිකර දීමයි .ඒ වෙනුවෙන් දිනෙන් දින මේ ආකාරයෙන් නව ක්‍රමවේදයන් ක්‍රියාත්මක වේවි"යැයි පැවසීය.

මෙම අවස්ථාවට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපතිනී, අරෝෂා විද්‍යාභූෂණ යන මහත්ම මහත්මීන් ඇතුළු අදාළ ආයතනයන්ගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වූහ.