රාජ්‍ය සේවයේ මානව සම්පත් කළමනාකරණය පහසු කෙරුමට පරිපාලන අමාත්‍යංශයෙන් නව වෙබ් අඩවියක්

රාජ්‍ය සේවයේ මානව සම්පත් කළමනාකරණය පහසු කෙරුමට පරිපාලන අමාත්‍යංශයෙන් නව වෙබ් අඩවියක්
  • SocialShare:

රජයේ ඩිජිටල්කරණ වැඩසටහනට සමගාමීව යමින් රාජ්‍ය සේවයේ මානව සම්පත් කළමනාකරණය වඩාත් පහසු කිරීම අරමුණු කොටගෙන නව වෙබ් අඩවියක් හඳුන්වා දීමට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ඒ.එච්.එම්.එච්.අබයරත්න මහතාගේ උපදෙස් හා අමාත්‍යංශ ලේකම් ‍එස්.ආලෝකබංඩාර මහතාගේ මගපෙන්වීම යටතේ   රාජ්‍ය සේවා ප්‍රතිශංස්කරණ හා සැලසුම් අංශය විසින් මෙම වෙබ් අඩවිය හඳුන්වාදීම සිදු කර ඇති අතර  www.govhr.gov.lk ඔස්සේ මේ වෙත පිවිසිය හැක.

මෙම පළමු අධියරේදී දීප ව්‍යාප්ත සේවාවන් 6 ක සහ ඒකාබද්ධ සේවාවන් 3 ක නිලධාරීන්ගේ තොරතුරු ඇතුලත් කිරීම සිදුවන අතර මේ වසරේ දෙසැම්බර් මාසය වන විට සමස්ථ රාජ්‍ය සේවාවේ මානව සම්පතේ සවිස්තරාත්මක තොරතුරු ගොණුවක් මෙම වෙබ් අඩවිය හරහා පවත්වාගෙන යාමට තම අමාත්‍යංශය අපේක්ෂා කරන බව රාජ්‍ය සේවා ප්‍රතිශංස්කරණ හා සැලසුම් අංශයේ අතිරේක ලේකම් ශාන්ත වීරසිංහ මහතා පැවසීය.මේ වන විට උක්ත සේවාවන් නවයේ නිලධාරීන්ගෙන් සියයට 70 ක පමන පිරිසක් අදාල වෙබ් අඩවියේ ලියාපදිංචි වී ඇති අතර වසර අවසන් වනවිට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය යටතේ පාලනය වන අනෙක් සියලු සේවාවන් ආවරණය වන පරිද්දෙන් තොරතුරු දත්ත පදධතියක් නඩත්තු කිරීමට හැකිවනු ඇතැයි අමාත්‍යංශය අපේක්ෂා කරයි.

මෙහිදී අදහස් පළකල අමාත්‍යංශ ලේකම් එස්.ආලෝකබණ්ඩාර මහතා සඳහන් කර සිටියේ මේ වනවිටත් රාජ්‍ය සේවයේ වාර්ෂික ස්ථානමාරුවීම් ආදියට යම් ප්‍රමාණයකින් අන්තර් ජාල පහසුකම උපයෝගී කර ගත්තද එය විදිමත් අයුරින් සිදු නොවන බවයි.මෙම වෙබ් අඩවිය කාර්යක්ෂම ආකාරයෙන් ක්‍රියාත්මක වීම තුල රාජ්‍ය සේවයේ මානව සම්පත වඩා විධිමත් හා කාර්යක්ෂම ආකාරයෙන් කළමනාකිරිමේ හැකියාව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට හැකිවනු ඇතැයිද ලේකම්වරයා පැවසීය.මාර්ගගත ක්‍රමවේදයකට රාජ්‍ය සේවය ගෙන ඒම සඳහා වසර එක හමාරක් වැනි කාලයක් මුළුල්ලේ කටයුතු සිදු වූ බව සඳහන් කල අමාත්‍යංශ ලේකම්වරයා රාජ්‍ය සේවයට අලුතින් එක්වන නිලධාරීන්ට මෙම ක්‍රමවේද ඔස්සේ වඩා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් මෙන්ම සුහුරු කාර්යාල පද්ධතියක් පවත්වාගෙන යාමට අවකාශ සැලසෙන බවද පැවසීය.

ඉදිරියේදී මෙම www.govhr.gov.lk වෙබ් අඩවිය ඔස්සේ රාජ්‍ය නිලධාරීන්ගේ බඳවා ගැනීම්, උසස්වීම් මෙන්ම මාරුවීම් සම්බන්ධ සියලු කටයුතු සිදුකිරිමට රාජ්‍ය පරිපාලන ,පළත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය අපේක්ෂා කරයි.

මෙම අවස්ථාවට අමාත්‍යංශ අතිරේක ලේකම්වරුන්, අධ්‍යක්ෂ ජනරාල්වරුන් ඇතුලු නිලධාරීන් සහභාගී වූහ.