ජාත්‍යන්තරව ඉහල පිළිගැනීමක් ඇති ජාතික තත්ත්ව යටිතල පද්ධතියක් සංවර්ධනය කරනවා

ජාත්‍යන්තරව ඉහල පිළිගැනීමක් ඇති ජාතික තත්ත්ව යටිතල පද්ධතියක් සංවර්ධනය කරනවා
  • SocialShare:

ජාත්‍යන්තරව ඉහල පිළිගැනීමක් ඇති ජාතික තත්ත්ව යටිතල පද්ධතියක් ඉදිරියේ දී සංවර්ධනය කරන බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ඊයේ (31) බත්තරමුල්ල, වෝටර්ස් එජ් හිදී පැවති  නියාමන බලපෑම් ඇගයීම (Regulatory Impact Assessment -RIA) සහ ජාතික තත්ත්ව යටිතල පහසුකම් (National Quality Infrastructure -NQI) පද්ධතිය ශක්තිමත් කිරීම හා සංවර්ධනය පිළිබඳ දෙදින වැඩමුළුවේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි.

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය, එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය (UNIDO) සමඟ සහයෝගීතාවෙන් හා යුරෝපා සංගමයේ තාක්ෂණික දායකත්වයෙන්  මෙම වැඩමුළුව සංවිධාන කර තිබුණි.

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනක් ලෙස ජාතික තත්ත්ව යටිතල පහසුකම් පද්ධතිය (NQI) සංවර්ධනය කිරීම වෙනුවෙන් 2025 වර්ෂයට අයවැය ප්‍රතිපාදන වෙන් කර තිබේ. ඹෟෂධ, ආහාර අතුළු මෙරට නිපදවන භාණ්ඩ හා සේවාවන්හි ප්‍රමිතිය ආරක්ෂා කිරීම, සංවර්ධනය කිරීම මෙන්ම ආනයන හා අපනයන භාණ්ඩවල ප්‍රමිතිය පරීක්ෂා කිරීම වෙනුවෙන් ගුණාත්මක  යාන්ත්‍රණයක් නිර්මාණය මින් ආපේක්ෂා කෙරේ. ප්‍රමිතීන්, නිවැරදි මිනුම්, අනුකූලතාව සහ සහතික කිරීම යන මූලික ස්ථර හතරක් මත මෙම පද්ධතිය පෙළගස්වා තිබේ.

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ මෙහෙයවීම හා සම්බන්ධකරණයෙන් කාර්මික තාක්ෂණ ආයතනය (ITI),  ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI), ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය (NERD), මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව (MUSSD), ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලය (SLAB) සහ පේෂකර්ම දෙපාර්තමේන්තුව මෙම වැඩසටහනට දායකත්වය දෙන සෙසු  ආයතන ලෙස නම් කර තිබේ.

මෙහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද පැවසීය. “අපනයන ආර්ථිකයක් සංවර්ධනය කිරීම අප රජයේ ඉලක්කයයි. එම කාර්යයේ දී නිවැරදි ජාත්‍යන්තර ප්‍රමිතීන් සහ අනුකූලතාවන් පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය වෙනවා. ඒ සඳහා වර්තමානයේ භාවිතා කරන ක්‍රමවේදයන්ට වඩා දියුණු හා ඉහල පිළිගැනීමක් ඇති ගුණාත්මක තත්ත්ව පද්ධතියක් සංවර්ධනය සඳහා රජය රුපියල් මිලියන 750ක් වෙන් කර තිබෙනවා. ඒ හරහා වග කිවයුතු ආයතනවල පරීක්ෂණාගාර උපකරණ ඇතුළු පහසුකම් සංවර්ධනය කරනවා. ඵලදායී ජාතික තත්ත්ව යටිතල පහසුකම් පද්ධතියක් (NQI) සංවර්ධනය කිරීමෙන් දේශීය පාරිභෝගිකයන්ගේත් ව්‍යාපාරවලත් ආරක්ෂාව තහවුරු කිරීමටත්,  තරඟකාරි ගෝලීය වෙළඳ පොළ තුළ ශ්‍රී ලාංකික භාණ්ඩ හා සේවා සඳහා  වැඩි ඉල්ලුමක් ගොඩනගා ගැනීමටත්  හැකියාව ලැබෙනවා.”

 NQI සඳහා වෙන්තරන ලද ප්‍රතිපාදන ඵලදායී ලෙස වැය කිරීමත් අදාළ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ඇතුළු පාර්ශ්ව සමග එක්ව මෙම යාන්ත්‍රණය ජනතාවට ප්‍රතිලාභ හිමිවන ලෙස භාවිතා කිරීම පිළිබඳ නීති හා රෙගුලාසි  ඇගයීමේ පරමාර්ථයෙන් මෙම නියාමන බලපෑම් ඇගයීම (RIA) වැඩමුළුව සංවිධාන කර තිබේ. ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තරව ඉහළ පිළිගැනීමක් ඇති NQI පද්ධතියක් සංවර්ධනය කිරීම සඳහා ඇති වැඩපිළිවෙල ශක්තිමත් කිරීමට උපකාරී වන ජාතික වැදගත්කමක් ඇති මෙම වැඩමුළුව තුළින් ව්‍යාපාර සහ පාරිභෝගිකයින් මත අනවශ්‍ය වියදම් පැනවීමකින් තොරව නියාමන මැදිහත්වීම් සමානුපාතිකව, සාධාරණ සහ සරල බව සහතික කිරීම සඳහා අවශ්‍ය මග පෙන්වීම ලබා දෙන පියවරකි. මෙම වැඩමුළුවේ ප්‍රධාන දේශනය RIA සහ යහපාලනය තේමා කරගනිමින් UNIDO හි මෙරට වැඩසටහන් ප්‍රධානී සහ ජාත්‍යන්තර ජ්‍යේෂ්ඨ විශේෂඥ  ජයිරෝ විලාමිල්-ඩයස් මහතා විසින්  සිදු කරන ලද අතර, නියාමනය බලපෑම් තක්සේරුව පිළිබඳ හැඳින්වීම UNIDO හි ජාත්‍යන්තර නියාමන ප්‍රතිසංස්කරණ විශේෂඥ, ඩෙලියා රොඩ්රිගෝ මහත්මිය විසින් සිදු කළාය.

මෙම අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශ ලේකම් මොහොමඩ් නවවි, වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍යාංශ ලේකම්  කේ.ඒ.විමලේන්තිරරාජා යන මහත්වරුන්, මෙම වැඩසටහන හා සම්බන්ධ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා නියෝජිතයින්, මෙරට විශ්ව විද්‍යාලවල නියෝජිතයින්, පෞද්ගලික ආයතනවල නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.