රෝගී ප්‍රතිකාර සේවා ශක්තිමත් කිරීම සහ ඉදිරි සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 50 ක මූල්‍යාධාර ලබාදීමට පියවර.
නැගෙනහිර පළාතේ සෞඛ්‍ය සේවා යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ජනතා අයිතියට පත් කිරීම උදෙසා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගියදා නැගෙනහිර පළාතේ රෝහල් සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන කිහිපයක සංචාරයක නිරත වෙන ලදි.
එහිදී අම්පාර මහ රෝහලට අනුබද්ධ දිස්ත්‍රික්කයේ රෝගීන්ට නේවාසික ප්‍රතිකාර සහ පුනරුත්ථාපන සේවාවන් ලබා දෙනු ලබන කායික හා මානසික පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමාත්‍යවරයාගේ විශේෂ නිරීක්ෂණයට ලක්විය.
අංශභාගය, හදිසි අනතුරු, අත් පා ඉවත් කිරීම්, අසීරු ශල්‍යකර්ම, මොළයේ ආසාදන සහ වෙනත් සන්ධි රෝගී තත්ත්වයන්, මාංශපේශී හෝ ස්නායු දුර්වලතා හේතුවෙන් ආබාධිත බවට පත්වන වැඩිහිටි හා ළමා රෝගීන්, ජානමය හෝ උපතේ දී ඇති වන සංකූලතා හේතුවෙන් ආබාධිත බවට පත්වන විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙත මෙම කායික හා මානසික පුනරුත්ථාපන මධ්‍යස්ථානය මගින් ප්‍රතිකාර සේවා සපයනු ලබයි.
පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළින් ලබාදෙන ප්‍රතිකාර සේවාවන් මෙන්ම භෞතික සම්පත් පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කළ අමාත්‍යවරයා කායික හා මානසික පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ භෞතචිකිත්සක ඒකකය, කෘත්‍රිම අත්, පා සහ ආධාරක නිදවීමේ ඒ්කකය, රෝගී ප්‍රතිකාර වාට්ටු සහ ළමා රෝගී ප්‍රතිකාර වාට්ටුව ද නිරීක්ෂණය කරන ලදි.
අනතුරුව කායික හා මානසික පුනරුත්ථාපන මධ්‍යස්ථානය බාරව කටයුතු කර වෛද්‍ය නිලධාරීනී දිනූෂා සමරකෝන් මහත්මිය සමග මධ්‍යස්ථානයේ මූලික අවශ්‍යතා පිළිබඳව සාකච්ඡා සිදු කළ අතර, ඒ මහත්මිය පෙන්වා දෙන ලද්දේ සෑම ඒකකයක් සඳහාම කාර්ය මණ්ඩල අඩුවක් පවතින බවයි. එමෙන්ම උපකරණවල අඩුපාඩු වන බවත්, වාට්ටු දෙකෙහි ඇඳන් ධාරිතාවය ද ප්‍රමාණවත් නොවන බව ද පෙන්වා දෙන ලදි. වෘත්තීයමය පුහුණු කිරීමේ ඒකකයක් නොමැතිවීම ද ගැටළුවක් බවත්, අබාධිත අය සඳහා රෝද පුටු පුහුණුව, ඇවිදීම පුහුණූ කිරීමට අදාළ විශේෂිත ස්ථාන ඉදිකරමින් පවතින බවත්, එම කටයුතු කඩිනමින් නිම කර ගැනීමේ අවශ්‍යතාවය ඇති බව ද පෙන්වා දෙන ලදි.
එමෙන්ම ආබාධිත පුද්ගලයින්ට භාවිතා කිරීමට සුදුසු අයුරින් නාන කාමර, වැසිකිළි හා මුළුතැන්ගෙය පිළිසකර කළ යුතුව ඇති බවත්, කෘත්‍රීම අත් පා නිපදවීමේ ඒකකයේ යන්ත්‍ර සූත්‍ර, උපකරණ සහ අමුද්‍රව්‍ය නොමැතිකම නිසා එම ක්‍රියාවළිය දැනට සිදු නොවන බව ද පෙන්වා දෙන ලදි.
ඉහත කරුණු පිළිබඳව සිය අවධානය යොමු කළ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කායික හා මානසික පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පවතින අඩුපාඩු සපුරා ගනිමින් රෝගී ප්‍රතිකාර සේවා අඛණ්ඩව ඉදිරියට සිදු කිරීම සහ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 50 ක මුල්‍ය ප්‍රතිපාදන කඩිනමින් ලබාදීමට කටයුතු කරන බව මෙහිදී දැනුම් දෙන ලදි.
2012 – 2013 කාලය තුළ එවකට අම්පාර මහ රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය ලංකාතිලක මහතාගේ සංකල්පක් මත මෙම කායික හා මානසික පුනරුත්ථාපන මධ්‍යස්ථානය ස්ථාපිත කොට ඇති අතර 2015 වර්ෂයේ ප්‍රතිකාර සේවා සැපයීම ආරම්භ කර ඇත.
මෙම අවස්ථාවට ග්‍රාමීය සංවර්ධන හා සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය එල්.ජී. වසන්ත පියතිස්ස, පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. ආදම්බාවා, පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල් වාසීන්, නැගෙනහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ පී.එස්.එමි විමලරත්න, අම්පාර මහ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය වෛද්‍ය රංග චන්ද්‍රසේන යන මහත්ම මහත්මීන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල එක්ව සිටියහ.


