ජනාවාස සතියක් ප්‍රකාශයට පත් කෙරේ

ජනාවාස සතියක් ප්‍රකාශයට පත් කෙරේ
  • SocialShare:

ලෝක ජනාවාස දිනයට සමගාමීව ඔක්තෝබර් මස 01වැනි දින සිට 05 වැනි දිනය දක්වා ජනාවාස සතියක් ප්‍රකාශයට පත් කර ඇති අතර එහි සමාරම්භය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර් මස 5 වැනි දින අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට සියලු කටයුතු සුදානම් බවත් නාගරික සංවර්ධන , ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (29) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.

“ තමන්ටම නිවසක් - ලස්සන ජිවිතයක්“ මෙවර ජනාවාස සතියේ තේමාව බව සඳහන් කළ අමාත්‍යවරයා තමාටම අයත් නිවසක් හිමිකර දීම මෙම වැඩසටහනේ අරමුණ බවද පෙන්වා දුන්නේය.

ඒ අනුව මෙම සතියට සමගාමීව නිවාස අධාර ලබා දීම, නිවාස හිමිකම් ඔප්පු ලබා දීම ඇතුලු වැඩසටහන් රැසක් සිදු කෙරෙන  බව සඳහන් කළ අමාත්‍යවරයා පළමු අදියර යටතේ නිවාස 2846ක් ජනතා අයිතියට පත් කිරීමට නියමිත බවද කීය.එසේම පළමු අදියරේදී ඉඩම් ඔප්පු 1000ක් ලබා දීමට කටයුතු සූදානම්  කර ඇති බවද හෙතෙම පැවසීය.

පරිසරයට හානි නොකරමින් සහ භූමිය තිරසරව භාවිත කරමින් නාගරික සහ ග්‍රාමීය නිවාස ඉදිකිරීම් සිදු කර බව පෙන්වා දුන් අමාත්‍යවරයා 2025 අයවැය මගින් ද නිවාස ඉදිකිරීම් සඳහා ප්‍රතිපාදන වෙන් වී ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

එසේම උතුරු නැගෙනහිර සංවර්ධනය සඳහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 2430ක් වෙන් කර ඇති බවත් නිවාස අවශ්‍යතාවයන් සඳහා රුපියල් මිලියන 1813ක ප්‍රතිපාදන වෙන් කර ඇති බවත් ග්‍රාමීය මාර්ග  සංවර්ධනය සඳහා ද  රුපියල් මිලියන 726ක් වෙන් කර ඇති බවද පෙන්වා දුන්නේය.