සත්ව නිෂ්පාදන සහ මසුන් අපනයනය සම්බන්ධ ගැටලු පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යංශයේ අවධානය

සත්ව නිෂ්පාදන සහ මසුන් අපනයනය සම්බන්ධ ගැටලු පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යංශයේ අවධානය
  • SocialShare:

ශ්‍රී ලංකාව තුළ සත්ව නිෂ්පාදන සහ විසිතුරු මසුන් අපනයනය ප්‍රවර්ධනයේදී මතුවන ගැටළු සහ විසඳුම් සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (25) කෘෂිකර්ම අමාත්‍යාංශයේදී  කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ සහ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණ.

 මෙහිදී  කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආචාර්ය පාලිකා ප්‍රනාන්දු මහත්මිය විසින් ‍පශු සම්පත් ක්ෂේත්‍රයේ, විසිතුරු මසුන් සහ විසිතුරු ශාක අපනයන ක්ෂේත්‍රය තුළ පවතින ගැටළු සහ ඊට අදාළ විසඳුම් පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කරන ලදී. කුකුළ් මස්වල නිෂ්පාදන පිරිවැය ඉහළ යාම ගැටළුවක් බවත්, ඊට හේතු වන්නේ  සත්ව ආහාර වශයෙන් යොදා ගන්නා බඩඉරිඟුවල මිල ඉහළ යාම මෙන්ම සතුන්ට අවශ්‍ය ඖෂධ සහ එන්නත්වල මිල අධික වීමයි. කුකුළ් මස් අපනයනයේදී අවශ්‍ය වන රසායනාගාර වාර්තා ආදිය සපයා ගැනීමේදී රසායනාගාර පහසුකම්වල හිඟතාවය මෙන්ම ඒවාහි මානව සම්පත්වල හිඟය විශාල ගැටළුවක්ව පවතියි. මේ සඳහා විසඳුමක් ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය සහ අනෙකුත් අමාත්‍යාංශ යටතේ පවතින රසායනාගාර අතර සම්බන්ධීකරණයක් ගොඩ නඟා ගැනීම අවශ්‍ය බව පෙන්වා දෙන ලදී. අපනයනයේදී සතුන්ගේ නිරෝගී බව පරීක්ෂා කිරීම සඳහා රජයේ පශු වෛද්‍යවරයෙකුගේ සහතිකකරණය අවශ්‍ය වේ. කුකුළ් මස් අපනයනයේදී සිංගප්පූරුව, චීනය මෙන්ම මැදපෙරදිග රටවලින් ඉහළ ඉල්ලුමක් තිබේ. මෙම කාර්යයයේදී මේ සඳහා සම්බන්ධ වන ආයතන වෙන් වෙන් වශයෙන් ක්‍රියාත්මක වීමට වඩා එක්ව කටයුතු කිරීම වැදගත් බව ද මෙහිදී අවධාරණය කෙරිණි.

පශු සම්පත් ක්ෂේත්‍රය පිළිබඳව යම් අධ්‍යාපනයක් දරුවන්ට ලබා දීම මඟින් මෙම ක්ෂේත්‍රය සඳහා තරුණ පරපුරේ ආකර්ෂණය ලබා ගත හැකි බව ද  මෙහිදී යෝජනා විය. අපනයනයට අදාළ පනත් සහ නීති යාවත්කාලීන නොවීම ගැටළුවක් බවද මෙහිදී පෙන්වා දෙන ලදී. අපනයනය කරන විසිතුරු මසුන් සහ විසිතුරු ශාක සම්බන්ධයෙන්  පවතින ගැටළු සහ ඒවාට විසඳුම් ලබාදෙන ආකාරය සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරිණ.

විසිතුරු මසුන් සඳහා අවශ්‍ය සහතිකකරණය සම්බන්ධයෙන් ද ගැටළු පවතී. ඒ සඳහා රසායනාගාර අතර සම්බන්ධීකරණයක් ගොඩ නඟා ගත යුතුව ඇත. ඇතැම් මසුන් සෘජුව අපනයනය කිරීමට නොහැකි වුවද ප්‍රති අපනයනය සඳහා අවස්ථාව ඇති බවත්, ඊට අවශ්‍ය නීති රෙගුලාසි සකස් විය යුතු බවත් මෙහිදී සාකච්ඡාවට බඳුන් විය. විශේෂයෙන් අපනයන බලපත්‍ර ලබා දීම ප්‍රමාද නොවී එම ක්‍රියාවලිය වඩාත් පහසු විය යුතුය.

මෙම ගැටළු සඳහා විසඳුම් ක්‍රියාත්මක කිරීමට අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සහ අදාළ නිලධාරීන්ගේ මූලිකත්වයෙන් කමිටුවක් පත්කර ඊට අදාළ පියවර කඩිනමින් ගන්නා ලෙස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. මාස 3ක් ඇතුළත ක්ෂේත්‍රයේ පවතින ගැටළුවලට ස්ථීර විසඳුම් ලබා දිය යුතු බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.