කලවංචිකුඩි තැපැල් කාර්යාල නව ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා මුල්ගල තැබේ

කලවංචිකුඩි තැපැල් කාර්යාල නව ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා  මුල්ගල තැබේ
  • SocialShare:

වසර 35 කට පසු මඩකළපුව දිස්ත්‍රික්කයේ පළමු ශ්‍රේණියේ තැපැල් කාර්යාල ගොඩනැගිල්ලක ඉදිකිරීම් සිදු කෙරෙන බව සෞඛ්‍ය්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

"පොහොසත් රටක් ලස්සන ජීවිතයක්" යන්න තේමා කරගත් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව වසර 200 කට අධික ඉතිහාසයක් සහිත මෙරට ක්‍රියාත්මක තැපැල් සේවා‍ව නව්‍යකරණයට ලක් කරමින් එම සේවාවේ භෞතික හා මානව සම්පත් සංවර්ධනයට වත්මන් රජය කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇත.

ඒ අනුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් රුපියල් මිලියන 29.5 ක වියදමින් නැගෙනහිර පළාතේ මඩකළපුව දිස්ත්‍රික්කයේ කලවංචිකුඩිය තැපැල් කාර්යාල නව ගෙඩනැගිල්ල ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම ඊයේ පස්වරුවේ (18) සිදු කෙරිණි.

තැපැල් දෙපාර්තමේන්තුවේ මූල්‍ය ප්‍රතිපාදන මත ඉහත ඉදිකිරීම් කටයුතු සිදු කෙරේ.

පසුගිය රජයන් තැපැල් සේවාවේ උන්නතිය වෙනුවෙන් කටයුතු නොකිරීම මත මඩකළපුව දිස්ත්‍රික්කයේ   කලවංචිකුඩි ප්‍රදේශයට වසර 35 කට පසු පළමු ශ්‍රේණියේ තැපැල් කාර්යාල ගොඩ නැගිල්ලක ඉදිකිරීම් අද දින ආරම්භ කෙරෙන බව මෙහි දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

මුල්ගල් තබපු මොහොතේ සිටම ගොඩනැගිලිවල ඉදිකිරිම් ආරම්භ වන බවත්, මෙම වසරේ දෙසැම්බර් මස ජනතා අයිතියට පත් කෙරෙන බව ද මෙම ප්‍රදේශයේ 9000 කට අධික ජනතාවකට ඉන් සේවා සැලසෙන බව ද අමාත්‍යවරයා පැවසී ය.

පවතින තැපැල් කාර්යාල, උප තැපැල් කාර්යාල නවීකරණය සඳහා ද වත්මන් රජය මුදල් වෙන් කරන බවත්,  ලබන අයවැය මගින් ද සැලකිය යුතු මුදලක් තැපැල් සේවාව නඟා සිටුවීම සඳහා වෙන් කෙරෙන බව ද අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කරන ලදි.

පසුගිය සමයේ තැපැල් සේවාවට අවශ්‍ය භෞතික සම්පත් ප්‍රමාණවත් තරම් ලබා නොදීම හේතු කර ගෙන තැපැල් සේවකයින් සේවා කටයුතු බිදවැටීම ට ඉඩ නොදී පවත්වාගෙන යාම සඳහා තම පෞද්ගලික තාක්ෂණික උපකරණ ද යොදා ගනිමින් කටයුතු කළ බව සිහිපත් කළ අමාත්‍යවරයා ලොරි රථ, කැබ් රථ මෙන්ම ලැප්ටොප් සහ ඩෙක්ස්ටොප් පරිගණක අළුතින් ලබා ගැනීම සඳහා රුපියල් මිලියන 200 ක මුදලක් වෙන්කර ඇති බව ද විවිධ ශ්‍රේණි වල කාර්ය මණ්ඩල බඳවා ගැනීමටත්, කාර්ය මණ්ඩල ශ්‍රේණි උසස් කිරීමටත් පියවර ගන්නා බව ද අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දෙන ලදි.

 නව රජය යටතේ ජාතිවාදයට කිසිදු ඉඩක් නොමැති බවත්, මඩකළපුව මෙන්ම මුළු රටේම ජනතාව ජාති භේදයකින් තොරව ප්‍රජාතන්ත්‍රවාදය භුක්ති විදිමින් සමගිව ජීවත් වන බවත්, ජාතිවාදය සහ ආගමික ගැටුම් ඇතිවන කිසිදු ප්‍රයත්නයකට ප්‍රකාශයකට ඉඩ නොතබා එවැනි ක්‍රියාවල නිරත වන පිරිස් සිටී නම් නීතිය ක්‍රියාත්මක කරන බව ද වැඩිදුරටත් පැවසීය.

2016 වර්ෂයෙන් පසු නව තැපැල් කාර්යාල ඉදිකිරීම සදහා පැවති රජයන් කටයුතු කර නොමැති අතර වත්මන් රජය බලයට පත්වී මුල්ගල තබන 05 වන තැපැල් කාර්යාල ගොඩනැගිල්ල මෙය වේ. මෙම වර්ෂයේ තැපැල් දෙපාර්තුමේන්තුවේ නව ඉදිකිරීම් සදහා රුපියල් මිලියන 600 ක මුදලක් වත්මන් රජය වෙන්කර ඇති අතර, තැපැල් කාර්යාල ගොඩනැගිලි 20 ක ඉදිකිරීමට කටයුතු යොදා ඇත.

නව්‍යකරණය වූ බහුවිධ සේවා සැපයීම තුළින් විශිෂ්ටතම සබඳතා සහකරු වීම ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ ඉදිරි දැක්ම වේ.

මෙම අවස්ථාවට  නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්තලාල් රත්නසේකර, මඩකළපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කන්දසාමි ප්‍රභූ, කලුවංචිගුඩි ප්‍රාදේශීය සභාවේ  සභාපති මෙගසුන්දරම් විනෝරාජ්, ලේකම් යූ.උදයශ්‍රීධර්, නියෝජ්‍ය තැපැල්පති (සංවර්ධන) තුසිත හුලංගම, නියෝජ්‍ය තැපැල්පති (නැගෙනහිර පළාත) එස්. ප්‍රකාස්, මඩකළපුව දිස්ත්‍රික් තැපැල් අධිකාරී එස්. ජගන්, කලවංචිකුඩි තැපැල් ස්ථානාධිපති ආර්.යූ.ටි රොමේෂ්  මහතා සහ කාර්ය මණ්ඩලය ඇතුළු ප්‍රදේශවාසීන් පිරිසක් එක්ව සිටියහ.