මතුගම සී. ඩබ්ලිව් .ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය විද්‍යාලයේ ඉදිකරන ලද තෙමහල් තාක්ෂණ පීඨය සහ කාය වර්ධන මධ්‍යස්ථානය සිසු අයිතියට

මතුගම සී. ඩබ්ලිව් .ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය විද්‍යාලයේ ඉදිකරන ලද තෙමහල් තාක්ෂණ පීඨය සහ කාය වර්ධන මධ්‍යස්ථානය සිසු අයිතියට
  • SocialShare:

මෙරට නිදහස් අධ්‍යාපනයේ පීතෘවරයා ලෙස සැලකෙන සී. ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර ශ්‍රීමතාණන්ගේ  මධ්‍ය විද්‍යාල සංකල්පයේ ප්‍රථම මධ්‍ය විදුහලවන මතුගම සී. ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර මධ්‍ය  විද්‍යාලයේ ඉදිකරන ලද තෙමහල් තාක්ෂණ පීඨය එම විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍ය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය  වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්  ඊයේ (16)  සිසු අයිතියට පත් කෙරිණි. මෙම ඉදිකිරීම සඳහා මූල්‍ය ප්‍රතිපාදන  අධ්‍යාපන හා උසස් අධ්‍යපන අමාත්‍යාංශය මගින් ලබා දී ඇත.

මීට සමගාමීව විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන හිටපු  නියෝජ්‍ය  රේගු අධ්‍යක්ෂ කමල් සෙනෙවිරත්න මහතාගේ මූල්‍ය  පරිත්‍යාගයෙන් පාසල්  පරිශ්‍රයේ ස්ථාපනය කරන ලද ශාරීරික සුවතා මධ්‍යස්ථානය ද අමාත්‍යවරයාගේ  සුරතින්  සිසු අයිතියට කරන ලදී.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර  මධ්‍ය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන අතර විද්‍යාලයේ හිටපු ප්‍රධාන ශිෂ්‍ය නායකයෙකු ද වේ. ඒ මහතා මෙරට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යධුරයට පත්වීමෙන් පසු අමාත්‍යවරයෙකු ලෙස සිය පාසල වෙත ගිය මුල් ම අවස්ථාව මෙය විය.  

වර්තමානය වන විට මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර  මධ්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් සංඛ්‍යාව 4500 කි. උසස් පෙළ තාක්ෂණ විෂය ධාරාවන් යටතේ අධ්‍යයන කටයුතු සිදු කරන සිසුන් ගණන 250කට අධික වන අතර  මෙම නව තාක්ෂණ පීඨය විවෘත කිරීමත් සමඟ එම සිසුන්ගේ ඉදිරි අධ්‍යයන කටයුතු වඩාත් ඵලදායීව, කාර්යක්ෂමව හා ගුණාත්මක අයුරින් සිදුකර ගැනීමට අවස්ථාව උදාවේ.

මෙම තෙමහල් තාක්ෂණ පීඨය ඉදිකිරීමේ කටයුතු 2015 වර්ෂයේ දී ආරම්භ කර විවිධ හේතූන් නිසා එම ඉදිකිරීම් අතරමග ඇණහිට තිබුණි. වත්මන් රජය බලයට පත්වීමෙන් පසු මේ පිළිබඳව අවධානය යොමුකරමින් මෙහි ඉදිකරීම් කඩිනම් කර නිම කිරීමට පියවර ගන්නා ලදී.

මතුගම සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය විද්‍යාලයේ තාක්ෂණ විෂයන් 2015 වර්ෂයේ දී සිසුන් හය දෙනෙකුගෙන් ආරම්භ කරන ලද අතර 2022, 2023, 2024 යන වර්ෂයන්හි දී  තාක්ෂණ විෂයන්ගෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථාන හිමිකර ගැනීමට ද සමත්වී ඇත.

වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී අදහස් දක්වමින්, තමන් වසර 13ක් ඉගෙනගත් පාසලට කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස පැමිණ දරුවන්ට ආමන්ත්‍රණය කිරීමට ලැබීම ස්වර්ණමය අවස්ථාවක් ලෙස සලකන බව සඳහන් කළේ ය. එය තමන් ලද මහත් ගෞරවයක් ලෙස සලකන බව සිහිපත් කළ අමාත්‍යවරයා, කන්නන්ගර විද්‍යාලය යනු ජීවිතය පිළිබඳ කියාදෙන තක්සලාවක් ලෙස තමන් සලක බව ද අවධාරණය කළේ ය.  පසුගිය කාලයේ  තමන් අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කිරීමේ දී විවිධ ස්ථාන වලට ගිය බවත් ඒ බොහෝ තැන් වල මුල් ස්ථාන වල කන්නන්ගර විද්‍යාලයෙන් බිහි වුවන් අතිශය වගකීම් සහගත ධූර දරමින් බොහෝ ක්ෂේත්‍ර වල කටයතු කරනු තමා දුටු බවත් සඳහන් කළේ ය. එය අතිශ්‍ය සතුට දනවන කරුණක් බව අමාත්‍යවරයා මෙහි දී සිහිපත් කළේය.  

ආර්ථික තත්ත්ව හේතුවෙන් අධ්‍යාපනයෙන් ඉදිරියට යාමට නොහැකි, අධ්‍යාපනය අතරමඟ නවතාදමන පවුල්වල දරුවන්ට අඛණ්ඩව ඉදිරියට අධ්‍යාපනය සිදුකර ගැනීමට  මෙන්ම අනාගතයේ දී මෙරට වගකීම් දරන්නට අවස්ථාව සැලසෙන ක්‍රමයක් නිර්මාණය කිරීම  කන්නන්ගර මැතිතුමා සිදුකළ ප්‍රමුඛතම කාර්ය බව අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන්  කළේ ය.

ඒ මහතා නිදහස් අධ්‍යාපන පනත ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේ සිදුකළ  කතාව යළි යළි කියවන ලෙසට මෙහි දී දරුවන්ගෙන් ඉල්ලීමක් කළ අමාත්‍යවරයා එම ප්‍රකාශය වර්තමානයේ දී දරුවන්ට නොතේරුණත් අනාගත වෘත්තීමය ජීවිතයේ දී වැටහෙන බව ද පැවසී ය. කන්නන්ගර මැතිතුමන් 1940 ගණන්වල හදුන්වා දුන් අධ්‍යාපන ක්‍රමය අප සාර්ථක ලෙස වසර ගණනාවක් ඉදිරියට ගෙන ආ නමුත්, තවමත් 100% ක් එම ඉලක්කය ජයග්‍රහණ කර ගැනීමට නොහැකිවී තිබෙන බව ද සිහිපත් කර සිටියේ ය.

වත්මන් රජය අධ්‍යාපන ක්ෂේත්‍රය  වෙනුවෙන් විශාල මුදලක් වැය කරන බවත්, එළැඹෙන අයවැයෙන් රේඛීය අමාත්‍යාංශ යටතේ රුපියල් බිලියන 450 -500  යක් ද, පළාත් සභා සමගින් රුපියල් බිලියන 600කට අධික මුදල් ප්‍රමාණයක් අධ්‍යාපන ක්ෂේත්‍රයට වෙන්කිරීමට බලාපොරොත්තුවන බවද පැවසී ය.

පසුගිය අයවැයෙන්  රුපියල් බිලියන 618 ක මුදලක්  අධ්‍යාපනයට වෙන් කළ බව සිහිපත් කළ අමාත්‍යවරයා මෙරට ජනතාවගේ බඳු මුදල් ක්‍රමානුකූළව නිසි අයුරින් වියදම් කරන බව ද සදහන් කළේය. මෙරට බඳු මුදල් ජාතික සැලැස්මකට සහ පිළිවෙළකට අනූව වියදම් නොකිරීම දෝෂයක් ලෙස තමන් දකින බවත්, මෙරට ජනතාව බහුතරයක් ගෙවනුයේ වක්‍රබදු  බවත්, ඒ සියල්ල එකතුවූ විට බිලියන ගණනක්වන බව ද පැවසී ය.

විදුහල්පතිනිය විසින්  ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත්  කළ බව මෙහි දී  සඳහන් කළ අමාත්‍යවරයා  විද්‍යාලීය ක්‍රීඩාංගණයේ ප්‍රතිසංස්කරණ කටයුතු සදහා  රුපියල් මිලියන 40ක මුදලක් ලබා දීමටත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන මත පාසලට අවශ්‍ය වෛද්‍ය මධ්‍යස්ථානයක් ඉදිකර දීමටත් කටයුතු කරන බව සදහන්කර සිටියේ ය.

 පසුගිය මාස දහය තුළ මෙරට ආර්ථිකය ස්ථාවර කර ගැනීමට හැකියාව ලැබී තිබෙන බවත්, බඳු ආදායම් ඉහල නංවා ගැනීමට ද හැකිවූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා  මෙරට බදු එකතුකරන ආයතන තුනම ප්‍රධාන වශයෙන් ඔවුන්ගේ ආදායම් ඉක්මවමින් මෙරටට බදු ආදායම් රැස්කර දී තිබෙන බවත්, වත්මන් රජය අනවශ්‍ය ලෙස වියදම් කරන රජයක් නොවන බවත්, පිළිවෙළකට,අත්‍යවශ්‍යතාවයට, නිසි අයුරින් පමණක් වියදම් කරන රජයක් බවද, පැවසී ය.

අධ්‍යපනය, සෞඛ්‍ය හා පොඳු ප්‍රවාහනය යන ක්ෂේත්‍රයන්හි  සංවර්ධනයට රජයක් ලෙස ප්‍රමුඛතාවය දෙමින් කටයුතු කරන බවත්, ඒ සදහා වැඩි මුඳලක් වෙන් කරමින් ජනතාවගේ ජීවිතය ශක්තිමත් කිරීමටත්, එමගින් ජනතාවගේ ආර්ථිකය ද ශක්තිමත් කිරීමට හැකියාව ලැබෙන බව ද පැවසී ය.

මෙහි දී, දරුවන් ආමන්ත්‍රණය කරමින් ඔබ සිටිනුයේ ඉතාම වැදගත් යුගයක බව සිහිපත් කළ අමාත්‍යවරයා, රට මේ මොහොතේ යහපත් පුරවැසියකු ලෙස ඔබව ඉල්ලා සිටින බව  පැවසීය. වර්තමානයේ රට තුළ මේ වන විට පරිවර්තන යුගයක් උදා වී ඇති බවත් එම  පරිවර්තනය සිදු කළ යුත්තේ අප සියලුදෙනා  විසින්ම වන බවත්,  දේශපාලන තීන්දු ගන්නා අය පමණක් නොව සෑම ක්ෂේත්‍රයකම සිටින අය තමන්ගේ වගකීම නිසි අයුරින් ඉටුකිරීම තුළින්  මේ රට  අප ජීවිත කාලය තුළ දී  ඉතාම විශිෂ්ට ස්ථානයකට ගෙන ඒමට  හැකිවන බව ද වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.

මෙම අවස්ථාවට එම විද්‍යාලයේ ම කීර්තිමත් ආදි ශිෂ්‍යන් වන මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු  නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල, කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සංජීව රණසිංහ, ජගත් පින්නගොඩ විතාන යන මහත්වරු ද එක්ව සිටින ලදී. මීට අමතරව විද්‍යාලයේ විදුහල්පතිනි දුල්මිණි සේනානායක , මතුගම ප්‍රාදේශිය ලේකම් මදූෂ සංකල්ප,  නියෝජ්‍ය   කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ  ආශා ජයසේකර, මතුගම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ලලිත් සිරිවර්ධන යන මහත්ම මහත්මීන්ද, නියෝජ්‍ය විදුහල්පතිවරුන්,අවට පාසල්වල විදුහල්පතිවරුන්, පාසල් සංවර්ධන කමිටුවේ සාමාජිකයන්,ගුරුවරුන්,සිසු සිසුවියන්,ආදීශිෂ්‍යයින්, දෙමාපියන් ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.