ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය රාජ්‍ය අංශයේ ඵලදායීතාව ප්‍රවර්ධනයට ඉතා සුදුසුම මෙවලමක් - ජනාධිපති අතිරේක ලේකම් ඉංජිනේරු එස්. පී. සී. සුගීෂ්වර

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය රාජ්‍ය අංශයේ ඵලදායීතාව ප්‍රවර්ධනයට ඉතා සුදුසුම මෙවලමක් - ජනාධිපති අතිරේක ලේකම් ඉංජිනේරු එස්. පී. සී. සුගීෂ්වර
  • SocialShare:

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය මෙරට රාජ්‍ය අංශයේ ඵලදායීතාව ප්‍රවර්ධනය කරගැනීමට ඉතාම සුදුසුම මෙවලමක් වශයෙන් හඳුනාගත හැකි බව ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ ජනාධිපති අතිරේක ලේකම් ඉංජිනේරු එස්. පී. සී. සුගීෂ්වර මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සහ ප්‍රජා ඵලදායිතා ආදර්ශ ගම්මාන ව්‍යාපෘතිය පිළිබඳ දැනුවත් කිරීමට අද (17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

මෙම වැඩසටහන රජයේ ආයතනවල ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය බවද, රාජ්‍ය ආයතනවල අකාර්යක්ෂමතාවයන් සම්බන්ධයෙන් රටේ විශාල කතිකාවතක් පවතින බවද පැවසූ ජනාධිපති අතිරේක ලේකම්වරයා මේවාට පිළිතුරු සෙවීමට රාජ්‍ය අංශයම මැදිහත් විය යුතු බවද අවධාරණය කළේය.

රාජ්‍ය ආයතන කාර්යක්ෂම කිරීමේ හැකියාව පවතින්නේ රාජ්‍ය නිලධාරීන්ටම බවද එමනිසා මෙම රාජ්‍ය අංශයට තාක්ෂණික කාරණා කියලා දීමට හා රාජ්‍ය ආයතන වලට කාර්යක්ෂමතාවය හා ඵලදායීතාවය ඉහළ නංවා ගන්නේ කෙසේද යන තාක්ෂණික කාරණාව හා බැඳුණු ලෝකය හදුනාගත් නිශ්චිත ක්‍රමවේද ලංකාවේ රාජ්‍ය ආයතන තුළ ක්‍රියාත්මක කරවීම උනන්දු කරවීමටත් ක්‍රියාත්මක කිරීම තහවුරු කරගැනීමටත් කර්මාන්ත අමාත්‍යංශය ජාතික ඵලදායීතා ලේකම් කාර්යාලය හරහා ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහන ඉතාම වැදගත් බවද අවධාරණය කළේය.

එම අරමුණෙන් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මෙම කාර්යයත් සමග එකතු වී ඇති බවද පැවසුවේය. ජනාධිපති කාර්යාලයේ ශක්තිය සහ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සමග එක්වී ඇති මෙරට සියලු අංශවල ශක්තිය මෙම වැඩසටහනත් සමග එකතු කිරීමට බැඳී ඇතැයිද සඳහන් කළේය.

ග්‍රාමීය දිළිඳු බව නැති කිරීමට රජයේ විශේෂ අවධානයක් යොමුවී ඇතැයිද දිළිඳු බව තුරන් කිරීම රාජ්‍ය ආයතන වල රාජ්‍ය නිලධාරීන් සියලු දෙනාගේ වගකීමක් බවද ඒ සදහා වෙනත් වැඩසටහන් විශාල ප්‍රමාණයක් ඇතැයිද පෙන්වා දුන්නේය.

ජාතික ඵලදායීතා ලේකම් කාර්යාලය හරහා ක්‍රියාත්මක වන මෙම ඵලදායිතා ගම්මාන නිර්මාණය කිරීමේ වැඩසටහනටත් දායක වන බව ඉතා පැහැදිලි බවද පැවසුවේය. ඊට අමතරව ග්‍රාමීය දිළිඳු බවට හේතු මොනවාද යන්න අධ්‍යයනය කිරීමේදී ඇතැම් ගම්මානවල පවතින මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම්, ඇතැම් ගම්මානවල පවත්නා නූගත්කම ආදී වශයෙන් විවිධ ගම්මානවල විවිධ ගැටලු පවතින බවද පෙන්වා දුන්නේය. 

ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ගැටලු වැඩිපුරම ඇති ගම්මාන හඳුනාගෙන මෙම ගම්මාන වල පවතින ගැටලු මොනවාද, මෙම ගම්මාන ඉහළ තලයකට ගෙනයාමට කළ යුත්තේ මොනවාද යන්න හඳුනාගනිමින් ඵලදායිතා ලේකම් කාර්යාලය සිදුකරන මෙම වැඩසටහන ඉතාම වැදගත් බවද අවධාරණය කළේය.

මෙම වැඩසටහන සදහා ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයත්, ජනාධිපති කාර්යාලයත් එමෙන්ම ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සමග බද්ධ වෙලා තියෙන ග්‍රාමීය මට්ටමේ සංවිධාන ශක්තියත් ඒ සදහා සහයෝගය ලබාදීමට කටයුතු කරන බවද පැවසුවේය.