බලපිටියට නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ලක්

බලපිටියට නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ලක්
  • SocialShare:

බලපිටිය නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සදහා මුල්ගල තැබීම හෙට (12)  පස්වරු 4.00 ට  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය.

තැපැල් දෙපාර්තමේන්තුවේ මූල්‍ය ප්‍රතිපාදන මත ඉදිකරීමට යෝජිත මෙම නවීන ගොඩනැගිල්ල සදහා වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් මිලියන 12.22 කි.

පළමු ශ්‍රේණියේ තැපැල් කාර්යාලයක්වන බලපිටිය තැපැල් කාර්යාලයෙන් සෘජුවම සේවය සැලසෙන පවුල් සංඛ්‍යාව 5520 කි. රජයේ ආයතන 48 කට සහ හෝටල්, කර්මාන්ත ශාලා ඇතුළු ආයතන රැසකට  මෙම තැපැල් කාර්යාලය මගින් සේවය සලසනු ලබයි.

ගාල්ල දිස්ත්‍රික්කය තුළ තැපැල් කාර්යාල 40 ක් ස්ථාපනය කර ඇති අතර උප තැපැල් කාර්යාල ගණන 215 කි.

2016 වර්ෂයෙන් පසු නව තැපැල් කාර්යාල ඉදිකිරීම සදහා පැවති රජයන් කටයුතු නොකරන ලද අතර වත්මන් රජය බලයට පත්වී මුල්ගල තබන සිවිවන තැපැල් කාර්යාල ගොඩනැගිල්ල මෙය වේ. මෙම වර්ෂයේ තැපැල් දෙපාර්තුමේන්තුවේ  නව ඉදිකිරීම් සදහා රුපියල් මිලියන 600 ක මුදලක් වත්මන් රජය වෙන්කර ඇත.

මෙරට ක්‍රියාත්මක තැපැල් සේවාවට වසර 200 කට අධික ඉතිහාසයක් පවතින අතර නව්‍යකරණය වූ බහුවිධ සේවා සැපයීම තුළින් විශිෂ්ටතම සබඳතා සහකරු වීම ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ ඉදිරි දැක්ම වේ. 

මෙම අවස්ථාවට ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ හසාරා ලියනගේ, බලපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති අනුරුද්ධ මහවැලි, නියෝජ්‍ය තැපැල්පති (සංවර්ධන) තුසිත හුලංගමුව, නියෝජ්‍ය තැපැල්පති (දකුණ) රවීන්ද්‍ර ගුණරත්න, ප්‍රාදේශීය තැපැල් අධිකාරී එස්.එස්. සෙනෙවිරත්න යන මහත්ම මහත්මීන් එක්වීමට නියමිතය.