රට තුළ දෙමළ භාෂා සාහිත්‍යයක් බිහි කිරීමේ අරමුණින් දෙමළ භාෂා ලේඛකයින් සඳහා ඩිප්ලෝමා පාඨමාලාවක්

රට තුළ දෙමළ භාෂා සාහිත්‍යයක් බිහි කිරීමේ අරමුණින් දෙමළ භාෂා ලේඛකයින් සඳහා ඩිප්ලෝමා පාඨමාලාවක්
  • SocialShare:

ජාතික පුස්තකාල හා ප්‍රලේඛණ සේවා මණ්ඩලය  විසින් දෙමළ භාෂා ලේඛකයින් සඳහා ප්‍රථම වරට ඩිප්ලෝමා පාඨමාලාවක් සංවිධානය කර ඇතැයි ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ සේනානි බණ්ඩාර මහත්මිය පැවසීය.

අද(10) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහත්මිය මේ බව සඳහන් කළාය.

වාර්ෂිකව සිංහල සහ දෙමළ ලේඛයින් විසින් විවිධ පොත්පත් රාශියක් එළිදක්වන බවත්, එහෙත් එම පොත්වල ගුණාත්මක භාවය සම්බන්ධයෙන් ගැටලු රාශියක් පැන නැගී ඇති බවද ඇය පෙන්වා දුන්නාය.

ප්‍රකාශන ක්ෂේත්‍රයට වාර්ෂිකව එකතුවන  මෙම ප්‍රකාශනවල ගුණාත්මක භාවය, අන්තර්ගතය සහ භෞතික නිමාව ඉහළ මට්ටමකට ගෙන ඒම තුළින් මෙරට තුළ හොඳ ලේඛක පරපුරක් සහ පාඨක පරපුරක් බිහිකිරීමේ අරමුණින් මෙම පාඨමාලාව සංවිධානය කළ බවද අධ්‍යක්ෂවරිය සඳහන් කළාය.

මෙම වැඩසටහන ඔස්සේ ලේඛකයින්ට අනුග්‍රහ දැක්වීම සහ  අඩු පහසුකම් සහිත පුස්තකාල සඳහා අධාර සැපයීම සිදුකෙරෙන බවද ඇය සඳහන් කළාය.

මෙම අවස්ථාවට එක් වූ පුස්තකාල හා ප්‍රලේඛණ සේවා මණ්ඩලයේ සහකාර අධ්‍යක්ෂ මිහිර අරවින්ද මහතා පැවසුවේ, රටතුළ දෙමළ භාෂාවෙන් සිදු කෙරෙන නිර්මාණවල බොහෝ අඩුවක් පවතින බවයි. දමිළ භාෂාව සම්බන්ධයෙන් සිටින  ප්‍රබුද්ධ ලේඛකයින්ගෙන් මිස නව ලේඛයින් බිහි  වීමේ විශාල අඩුවක් පවතින බවත්, දැනට තිබෙන දෙමළ භාෂා පොත්පත් බොහොමයක් ඉන්දියානු පොත් පත් බවද හෙතෙම සඳහන් කළේය.ඒ අනුව විද්වත් මණ්ඩලයක් සම්බන්ධ කර ගනිමින් රට තුළ දෙමළ භාෂා සාහිත්‍යයක් බිහි කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ආරම්භ කළ බවත්, එම නවක ලේඛකයින් දිරිගැන්වීම සඳහා විවිධ ආධාර වැඩසටහන්ද  ක්‍රියාත්මක කෙරෙන බවද කීය.

මෙම පාඨමාලාවේ මීළඟ පාඨමාලාව එළඹෙන ඔක්තොම්බර් මාසයේ ආරම්භ කරන අතර,  ගාස්තුව රුපියල් 40,000ක් බවද  පුස්තකාල ප්‍රලේඛන සේවා මණ්ඩලයේදී මෙම පාඨමාලාව ආරම්භ කරන බවද වැඩිදුර විස්තර ජාතික පුස්තකාලයේ වෙබ් අඩවියෙන් ලබා ගත හැකි බවද කීය.