ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතා පත් කෙරේ

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතා පත් කෙරේ
  • SocialShare:

කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතා සිවිල් ගුවන් සේවා අධිකාරියේ (CAASL) නව අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස පත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වීමෙන් පසු නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු ජනිත රුවන් කොඩිතුවක්කු මහතා අදාල පත්වීම් ලිපිය ඒ මහතා වෙත අද (9) ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ දී ප්‍රදානය කරන ලදී.
ගුවන් සේවා ක්ෂේත්‍රයේ වසර 25කට වැඩි කාලයක් නියලෙමින් ලබා ගත් අත්දැකීම් මත රටට හා සිවිල් ගුවන් සේවාවට විශිෂ්ට සේවාවක් ලබා දී ඇති ගුවන් සේවා ක්ෂේත්‍රයේ විශේෂඥයෙකු වූ කපිතාන් රඹුක්වැල්ල මහතා, ගුවන් නිරුපද්‍රිතා, ගුවන් ආරක්ෂාව, ගුවන් යානා මෙහෙයුම්, ගුවන් යානා යෝග්‍යතා, කාර්ය මණ්ඩල හා බලපත්‍ර, අනතුරු විමර්ශන, ආරක්ෂක කළමනාකරණ පද්ධති, නීති සැකසීම සහ නියාමන අනුකූලතාව යනාදිය විෂයන් පිළිබදව හසල දැනුමක් සහිතය.
මෙම පත්වීමට පෙර, ඔහු CAASL හි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (ගුවන් නිරුපද්‍රතා රෙගුලාසි) ලෙස සහ ගුවන් මෙහෙයුම් අධ්‍යෂක (වැඩ බලන) ලෙස සේවය කර තිබේ.