වත්මන් රජයේ පරිසර අමාත්‍යංශය යටතේ පවතින ආයතනයක් වන ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සත්ව සුභසාදන මෙන්ම ජනතා ආකර්ෂණය ඉහල නැංවීම සදහා ක්‍රියාමාර්ග රැසක් ආරම්භ කර තිබෙනවා.
වත්මන් රජයේ පරිසර අමාත්‍ය දම්ම්ක පටබැදි නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන රාජපක්ෂ මහතාගේ අධීක්ෂණය යටතේ මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මකයි.
ඒ අනුව සත්ව සුභසාදනයට අදාලව සතුන්ට පිරිසිදු හා පෝෂදායි ආහාර වේලක් ලබාදීම වෙනුවෙන් හොරණ-කහපොළ, හොරණ-ගෝනපොළ, පින්නවල-දියගම සහ හම්බන්තොට සෆාරි උද්‍යානයේ භුමි ප්‍රදේශවල සත්ව ආහාර නිෂ්පාදන ගොවිපොළ 04ක් ආරම්භ කර තිබෙනවා.
මාසිකව මිලියන 60ක පමණ මුදලක් සත්ව ආහාර වෙනුවෙන් වැය කරන අතර එය මිලියන 35කින් පමණ අඩු කර ගැනීම අපේක්ෂාව බවයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන රාජපක්ෂ මහතා අද පරිසර අමාත්‍යංශයේ පැවති මාධ්‍ය වෙත අදහස් දැක්වීමේදී පැවසුවේ.
සතුන්ට අවශ්‍ය ආහාර නිෂ්පාදනය කිරීමේ විශේෂ වැඩපිළිවෙල යටතේ එම ගොවිපොළ තුල මේ වන විට තෘණ වලට අමතරව එළවලු සහ පළතුරැ වැනි භෝගද මහා පරිමාණයෙන් සාර්ථකව වගා කර තිබෙනවා.
එම වගාවන් සදහා සතුන්ගේ මළ අපද්‍රව්‍ය මෙන්ම ඉතිරි ආහාර කොටස් යොදා ගැනීමද විශේෂත්වයක්.
සත්ව සුභසාදනයට අදාලව බෝ කිරීම, සංරක්ෂණය, සත්ව ගහනයක් ලෙස පවත්වාගෙන යාම සදහාද ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විශේෂ ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙනවා.
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන රාජපක්ෂ මහතා පැවසුවේ ජනතාවට අවශ්‍ය අධ්‍යාපනය ලබාදීම සදහා මේ වනවිට විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති අතර ජාතික උද්හිද උද්‍යාන දෙපාර්තමේන්තුව සමග එකාබද්ධව සත්වෝද්‍යාන තුල අලංකාරවත් සහ සුවදායි පරිසරයක් නිර්මානය කිරීමේ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක බවයි.
පරිසර අමාත්‍යංශය යටතේ මේ වන විට ආයෙතන, දෙපාර්තමේන්තු සහ මණ්ඩල 12ක් පවතින අතර ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව ඒ අතරින් වඩාත් ලාභ ලබන ආයෙතනයක්.
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව මගින් පාලනය වන උද්‍යාන 04 ක ආදායම ජනවාරි මාසයේ සිට මේ දක්වා ක්‍රමිකව ඉහල ගොස් ඇති අතර දෙහිවල සත්වෝද්‍යානයේ පමණක් පසුගිය අගෝස්තු මාසයේදී මිලියන 50ක ආදායමක් උපයා තිබෙනවා.
ජනවාරි මාසයේ සිට මේ දක්වා විදේශීය නරඹන්නන් 05 ගුණයකින් ඉහළ ගොස් ඇති බවද ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.


