නාවික හමුදා ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බළඝණයේ විසිනව වැනි (29) සුදුසුකම් ලැබීමේ පාඨමාලාව සම්පූර්ණ කල නිලධාරීන් තිදෙනෙකු (03) සහ නාවිකයන් තිස්හතර දෙනෙකු (34) වෙත ලාංඡන පැළඳවීමේ උත්සවය,නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) පුත්තලම, ගඟේවාඩිය ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බළඝණ මූලස්ථාන ප්‍රධාන සරඹ පිටියේදී පැවැත්විණි.
මාස හයක (06) කාල සීමාවක් පැවති මෙම පුහුණු පාඨමාලව තුලදී කුඩා යාත්‍රා මෙහෙයුම් කටයුතු පිළිබඳව සහ හදිසි හා ස්වභාවික ආපදා තත්වයන්හි දී ආපදාවට පත්වන පිරිස් ඉන් මුදවා ගැනීම හා ඔවුන්ගේ ජීවිත සහ දේපල ආරක්‍ෂා කර අවශ්‍ය සහන සැලසීමේ මෙහෙයුම් සඳහා මනා ප්‍රායෝගික හා න්‍යායාත්මක පුහුණුවක් ලබා දීම සිදු කෙරිණි.
ලාංඡන පැළඳවීමේ උත්සවයේදී, පුහුණු කාල සීමාව තුළ සුවිශේෂී කුසලතා දැක්වූවන් සඳහා විශේෂ සම්මාන පිරිනැමීම, නාවික හමුදාධිපතිවරයා අතින් සිදු කෙරිණි. ඒ අනුව, දක්‍ෂතම ජීවිතාරක්‍ෂකයා ලෙස ලුතිනන් ඒජේඑම්ඩීපී අබේකෝන් සහ දක්ෂතම යාත්‍රා හසුරවන්නා ලෙස ලුතිනන් ටීපීජීටීඒ ගුණසේකර විසින් සම්මාන හිමි කර ගන්නා ලද අතර, විශිෂ්ඨතම පුහුණුවන්නා ලෙස බල නැවි පීජීඩී සම්පත් සහ හොඳම ශාරීරික යෝග්‍යවත් පුහුණුවන්නා ලෙස සාමාන්‍ය නැවි එස්ජේඑම්එස්ඩී සමරකෝන් විසින් සම්මාන හිමි කර ගන්නා ලදි.
මෙම ලාංඡන පැළඳවීමේ උත්සවයට සමඟාමීව 29 වැනි සුදුසුකම් ලැබීමේ පාඨමාලාවට අයත් නාවික පුද්ගලයින් කුඩා යාත්‍රා උපයෝගී කරගනිමින් සතුරු ඉලක්ක වෙත ප්‍රහාර එල්ලකිරීමේ සහ ආපදා සහන මෙහෙයුම් පිළිබඳ ප්‍රදර්ශනාත්මක අභ්‍යාසයන් සිදුකරන ලද අතර, ඒ සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 212 හෙලිකොප්ටර් යානයක්ද එක් විය.
පුහුණුව අවසන් කළ නාවික හමුදා පුද්ගලයින් ඇමතූ නාවික හමුදාධිපතිවරයා පුරවැසි වගකීම් මූලික කරගත් තිරසාර සැලසුම් මඟින් පෝසත් රටක්, ලස්සන ජීවිතයක් යන රාජ්‍ය ප්‍රතිපත්තිය සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් මෙන්ම, සුරක්‍ෂිත සාගර කලාපයක් පවත්වාගෙන යාම ඇතුලු ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීම වෙනුවෙන්ද, ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත පැවරී ඇති වගකීම ඉටුකිරීමේදී, පුහුණුව තුලින් ලද වෘත්තීය දැනුම සහ කුසලතා තවදුරටත් වැඩිදියුණු කර ගනිමින්, විසිර යන නාවික හමුදා පුද්ගලයන්ගේ අධිෂ්ඨානශීලී කැපවීම නාවික හමුදාව අඛණ්ඩව අපේක්‍ෂා කරන බව අවධාරණය කළේය.


