නීතියට ඉහළින් කිසිවෙක් නොමැති බවත් සියල්ල නීතියට පහළින් බවත් නීතිය ඉදිරියේ සියලුදෙනා එක සමාන බවත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.
ඉන්දුනිසියානු පොලීසිය සමග සිදුකළ මෙහෙයුමකින් අනතුරුව එරට පොලීසිය සංවිධානාත්මක අපරාධකරුවන් 6 දෙනෙකු ඊයේ (27) අත්අඩංගුවට ගත් බවත් එම පිරිස ඉදිරියේදී ලංකාවට ගෙන ඒමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතින බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
පැවැති රජයන් සියල්ලකදීම අපරාධකරුවන් ආරක්ෂා කිරීමට කටයුතු කළ බව පැවසු අමාත්‍යවරයා වර්තමාන රජය මෙවැනි අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු කරන බවත් ශ්‍රී ලංකාව නීතිය ක්‍රියාත්මක කෙරෙන රටක් බවට පත් කිරීමට සියලු කටයුතු සිදු කරන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
තවද රතු වරෙන්තු නිකුත් කළ අපරාධකරුවන් 20 දෙනෙකු පමණ නීතිය හමුවට ඉදිරිපත් කර ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා බලය අනිසි ලෙස භාවිත කරමින් කිසිදු පුද්ගලයෙකුට සමාජයේ හැසිරීමට ඉඩ නොතබන බවද අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.
එසේම සංවිධානාත්මක අපරාධකරුවන්ට දඬුවම් ලබා දීම සඳහා විශේෂිත අධිකරණයක් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව සඳහන් කළ අමාත්‍යවරයා කඩිනම් සහ කාර්යක්ෂමව එම නඩු කටයුතු සිදු කරන බවද මෙම මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.


