කල් ඉකුත් වු රියදුරු බලපත්‍ර අලුත් කිරීමට වේරහැර කාර්යාලයට පැමිණීමට ඉදිරියේදී අවශ්‍ය නොවන බවත් ඒ සඳහා මසක් ඇතුළත කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නා බවත් එහි මූලික කටයුතු මේවනවිට ආරම්භ කර ඇති බවත් වරාය සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත කොඩිතුවක්කු මහතා පවසයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (25) මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර ශාඛාවේ සිදුකළ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.
එසේම රියදුරු බලපත්‍රය ලබා ගැනීමේදී ප්‍රවාහන වෛද්‍ය ආයතනය නිකුත් කරනු ලබන වෛද්‍ය සහතිකය මුද්‍රිත පිටපතක් ලෙස ලබා දීම හේතුවෙන් අක්‍රමිකතා රැසක් සිදුවන බවත් ඉදිරියේදී එම සහතිකය මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ලබාදීම පිළීබඳව අවධානය යොමු කරන බවත් ඒ මහතා සඳහන් කළේය.
මෙම චාරිකාව සඳහා ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා ද සහභාගි විය.


