ප්‍රජා ශක්ති ග්‍රාම සංවර්ධන වැඩසටහන පිළිබඳව නෙදර්ලන්ත රජයේ ප්‍රසාදය

ප්‍රජා ශක්ති ග්‍රාම සංවර්ධන වැඩසටහන පිළිබඳව නෙදර්ලන්ත රජයේ ප්‍රසාදය
  • SocialShare:

පන්නල welcome village වැඩිහිටි නිවාසයේ වර්තමාන තත්ත්වය හා ඒ සඳහා නෙදර්ලන්ත රජයේ මැදිහත්වීම ලබාදිය හැකි ආකාරය සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත නියෝජ්‍ය තානාපති Iwan Rutjens මහතා සහ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා  අතර ඊයේ 25.08.2025  අමාත්‍යංශ පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙම වැඩිහිටි නිවාසය නෙදර්ලන්ත රජයේ සෘජු මැදිහත්වීම මත ඉදිකරන ලද්දක් හෝ පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ඉදිකිරීමක් නොවන නමුත් නෙදර්ලන්ත ජාතික දානපතියෙකු වූ හර්මන් ස්ටුවර් මහතා විසින් 1996 දී සිය පුද්ගලික ධන පරිත්‍යාගයෙන් ආරම්භ කරන ලද්දකි.

වැඩිහිටි නිවාස සංකීර්ණය අලුත්වැඩියා කිරීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කර දිය හැකි බවත් ඒ සඳහා ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පීන් යෙදවිය හැකි බවත් අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන උපයා දිය හැකි බවත් නියෝජ්‍ය තානාපතිවරයා එහිදී සඳහන් කර සිටියා. ඒ සඳහා වන නීතිමය බාධාවන් ඉවත් කරදීමට අවශ්‍ය පියවරයන්නා ලෙසත් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියා.

අදාළ මැදිහත්වීම පිළිබඳව ප්‍රසාදය පළ කරමින් අදහස් දැක්වූ ගරු අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා මේ වන විට අදාල ඉඩම රජයට අත්පත් කර ගැනීම සඳහා අනුමැතියට ඉදිරිපත් කර ඇති බවත් කඩිනමින් එම කටයුතු අවසන් කර ඉඩමේ නීත්‍යානුකූල අයිතිය රජය වෙත ලබාගත හැකි බවත් පැවසීය. ලබන වසරට යෙදෙන නෙදර්ලන්ත ශ්‍රී ලංකා 75 වන මිත්‍රත්ව සැමරුම වෙනුවෙන් මෙම කටයුතු ඉටුකර ගත හැකිනම් වඩා වැදගත් බව දෙපාර්ශවයේ අදහස විය.

එමෙන්ම රජය මගින් ක්‍රියාත්මක කර ඇති ප්‍රජා ශක්ති ග්‍රාම සංවර්ධන වැඩසටහන ඇතුළු දිළිඳුකම පිටුදැකීමේ රජයේ වැඩසටහන් පිළිබඳව අගය කරමින් ඒ වෙනුවෙන්  නෙදර්ලන්ත රජයේ  පූර්ණ සහය ලබාදෙන බවද නියෝජ්‍ය තානාපතිවරයා එහිදී සඳහන් කරන්නට වුනා.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නෙදර්ලන්ත තානාපති කාර්යාලයේ දේශපාලන සබඳතා පිළිබඳ ජ්‍යේෂ්ඨ ප්‍රතිපත්ති උපදේශක නාමල් පෙරේරා මහතා, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම් සම්පත් මන්ත්‍රීනායක මහතා, අතිරේක ලේකම් (සමාජ ආරක්ෂණ) හේමා පෙරේරා මහත්මිය ,ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චතුර මිහිදුම් මහතාද සහභාගී වූහ.