මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට කපිල රාජපක්ෂ මහතා පත්කෙරේ

මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට කපිල රාජපක්ෂ මහතා පත්කෙරේ
  • SocialShare:

මධ්‍යම පරිසර අධිකාරියේ පුරප්පාඩුව පැවති අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා  ආර්.එස්.පී. කපිල මහේෂ් රාජපක්ෂ මහතා ඊයේ (25)  පත්කරන ලදි.  ගරු පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැදි මහතා අදාළ පත්වීම් ලිපිය ප්‍රදානය ඊයේ (25) පෙරවරුවේ පරිසර අමාත්‍යංශයේ දී සිදු කළේය.

කපිල රාජපක්ෂ මහතා රුහුණු විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිලාභියෙකු වන අතර රුහුණු විශ්වවිද්‍යාලයේ සංවර්ධන සැලසුම්කරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන විද්‍යාව සහ පරිසර කළමනාකරණය පිළිබඳ විද්‍යාපති උපාධියත් ලබා ගෙන ඇත.

දකුණු ආසියානු සහයෝගීතා පරිසර වැඩසටහන (SACEP) මගින් ක්‍රියාත්මක වන, "දකුණු ආසියාව සඳහා ප්ලාස්ටික් රහිත ගංගා සහ මුහුදු  (PLEASE) කලාපීය ව්‍යාපෘතියේ පරිසර සහ සමාජ සංවර්ධන විශේෂඥයෙකු ලෙස කටයුතු කර ඇති මෙම මහත‍ා ශ්‍රී ලංකාව විසින් ක්‍රියාත්මක කරන ලද JICA අරමුදල් සහිත සංවර්ධනය වන ප්‍රදේශවල ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතියේ (RIDEP) ද ක්‍රියාකාරී පරිසර විශේෂයෙකු ලෙස කටයුතු කර ඇත. 

එමනේ ම ශ්‍රී ලංකාව විසින් ක්‍රියාත්මක කරන ලද මෙට්‍රෝ කොළඹ නාගරික සංවර්ධන ව්‍යාපෘතියේ (MCUDP) ජ්‍යෙෂ්ඨ පරිසර නිළධාරියෙකු ලෙස කටයුතු කර ඇති අතර මෙරට ක්‍රියාත්මක කරන ලද, ADB අරමුදල් සහිත, දෙවන පෙළ නගර සහ ග්‍රාමීය ප්‍රජා පාදක ජල සම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘතියේ විශේෂයෙකු ලෙස කටයුතු කර ඇත. මෙම මහතා පරිසර විශේෂවේදියෙකු සහ වෘත්තිකයෙකු ලෙස සේවය කර ඇති අත්දැකීම් බහුල නිළධාරියෙකි.

මධ්‍යම පරිසර අධිකාරිය පරිසර අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ක්‍රියාකාරී ආයතනයක් වන අතර පරිසර සංරක්ෂණ ක්‍රියාවලියේ දී මෙම ආයතනය මගින් පරිසර ආරක්ෂණ බලපත්‍ර ක්‍රමවේද ක්‍රියාත්මක කිරීම, පාරිසරික බලපෑම් ඇගයීම,පරිසර අධ්‍යාපන, ප්‍රවර්ධන හා තොරතුරු සේවා සහ විශේෂ නීතී, වැඩසටහන් සහ අනපනත් ක්‍රියාත්මක කරනු ලබයි.