සමුද්‍රීය පරිසර ආරක්ෂණ සභාවේ සහාපති ලෙස මහාචාර්ය සෙව්වන්දි ජයකොඩි මහත්මිය පත්කෙරේ

සමුද්‍රීය පරිසර ආරක්ෂණ සභාවේ සහාපති ලෙස මහාචාර්ය සෙව්වන්දි ජයකොඩි මහත්මිය පත්කෙරේ
  • SocialShare:

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන සමුද්‍රීය පරිසර ආරක්ෂණ සභාවේ සහාපති ලෙස මහචාර්ය සෙව්වන්දි ජයකොඩි මහත්මිය පත් කරන ලදි. අදාළ පත්වීම් ලිපිය ප්‍රදානය කිරීම අද (22) ගරු පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැදි මහතා පරිසර අමාත්‍යංශයේ දී සිදු කළේය.

ශ්‍රී ලංකාවේ වයඹ විශ්වවිද්‍යාලයේ ජලජීවී වගා හා ධීවර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මහචාර්යවරිය ලෙස සේවය කරනු ලබන සෙව්වන්දි මහත්මිය ශ්‍රී ලංකාවේ කැලණිය විශ්වවිද්‍යාලයෙන් සත්ව විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධියත් (BScHons in Zoology), ඉන්දියාවේ WII ආයතනයෙන් වනජීවී සංරක්ෂණය හා කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් සහ එක්සත් රාජධානියේ ඇබර්ඩීන් විශ්වවිද්‍යාලයෙන් සත්ව විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් (PhD in Zoology) ලබා ඇත.

ඇගේ පර්යේෂණ වෙරළබඩ පරිසර පද්ධති, මානව ක්‍රියාකාරකම්වල බලපෑම්, ප්‍රතිපත්ති හා පාලනය සහ වෙරළබඩ පරිසර පද්ධති ප්‍රතිෂ්ඨාපනය පිළිබඳ සුවිශේෂී වනු ඇත. ඇය ශ්‍රී ලංකාවේ ජාතික කඩොලාන විශේෂඥ කමිටුවේ සභාපතිවරිය ලෙසත්, ජාතික පරිසර සභාවේ හා ජාතික නිල් කාබන් කාර්ය සාධක බලකායේ සාමාජිකාවක් ලෙසත් කටයුතු කරනු ලබයි. CITES, CBD සහ Commonwealth Blue Charter සඳහා වන ජාතික නියෝජිත කණ්ඩායම්වලට ඇය සහභාගී වී ඇති අතර වසර 10කට වැඩි කාලයක් ඇය ශ්‍රී ලංකාවේ රැම්සාර් සම්බන්ධීකාරක (Ramsar focal point) ලෙසද සේවය කර ඇත.

සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) වර්තමානයේ පරිසර අමාත්‍යාංශයේ විෂය පථය යටතේ පවතින අතර ශ්‍රී ලංකාවේ සමුද්‍ර පරිසරය දූෂණය වීම වැළැක්වීම, පාලනය කිරීම සහ කළමනාකරණය කිරීමේ එකම වගකීම තවදුරටත් සිදු කිරීම සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ සභාව පිහිටුවා ඇත. ඉදිරියේ දී සමුද්‍රීය පරිසර ආරක්ෂණ සහ කළමනාකාරණ කටයුතු සඳහා මෙම සභාවේ නිර්දේශ ක්‍රියාත්මක වනු ඇත.