වාහන ආසන පටි පැළඳීම පිළිබඳ රියැදුරන් සහ මගී ජනතාව දැනුම්වත් කිරීමේ තවත් වැඩසටහනක් කටුනායකදී

වාහන ආසන පටි පැළඳීම පිළිබඳ රියැදුරන් සහ මගී ජනතාව දැනුම්වත් කිරීමේ  තවත් වැඩසටහනක් කටුනායකදී
  • SocialShare:

ආසන පටි පැළඳීම පිළිබඳ නීතිය යළි බලාත්මක කිරීම හා ප්‍රායෝගික භාවිතය සම්බන්ධයෙන් රථවාහන රියැදුරන් සහ මගී ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති හර්ෂ අබේවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ කටුනායක පිටවීමේ දොරටුව අසළ ඊයේ(13) පැවැත්විණ.

එහිදී දැනුම්වත් කිරීම සඳහා මුද්‍රිත පත්‍රිකා බෙදාදීම සිදුවූ අතර, මෙම වැඩසටහන සම්බන්ධයෙන් රියැදුරන් සහ මගී ජනතාව සිය ප්‍රසාදය පළකර සිටියහ. ආරක්‍ෂිත ගමනාගමනයක් වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහන, අධිවේගී මාර්ග පද්ධතිය භාවිතා කරමින් මෙරට සංචාරය කළ විදේශීය සංචාරකයින්ගේ විශේෂ ඇගයීමට ලක්විය.

දෛනිකව සිදුවන මාරාන්තික සහ මාරාන්තික නොවන මාර්ග අනතුරු අඩු කිරීමේ වැඩසටහනේ එක් අදියරක් වශයෙන් වාහන ආසන පටි භාවිතය පිළිබඳ රියැදුරන් හා මගී ජනතාව දැනුම්වත් කිරීම සිදුකෙරේ.

‘මාර්ග ආරක්‍ෂණ ක්‍රියාකාරී සැලැස්ම’ ප්‍රකාරව, ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ වසර දෙකක ක්‍රියාකාරී සැලැස්මට අනුව දීප ව්‍යාප්තව මෙම වැඩසටහන ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

පසුගිය ජූලි 01 වන දින සිට සියලුම රියැදුරන් සඳහා ආසන පටි පැළඳීම අනිවාර්ය කළ අතර, අගෝස්තු මස 01 වන දින සිට අධීවේගී මාර්ගයේ ධාවනය කරනු ලබන සැහැල්ලු වාහනවල පසුපස ආසනවල සිටින මගීන් ද ආසන පටි පැළඳීම අනිවාර්ය කෙරිණ. එළැඹෙන සැප්තැම්බර් මස 01 වන දින සිට අධිවේගී මාර්ගයේ  ගමන් ගන්නා සියලුම වාහනවල සිටින සෑම මගියෙකුම ආසන පටි පැළඳීම අනිවාර්ය කර ඇත.

මෙම අවස්ථාවට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය, මාර්ග සංවර්ධන අධිකාරිය සහ ගුවන් තොටුපොළ හා ගුවන් සේවා  පුද්ගලික සමාගම නියෝජනය කරමින් නිලධාරීහු රැසක් එක්ව සිටියහ.