පාසල යනු දරුවන්ට දැනුම පමණක් ලබාදෙන ස්ථානයක් නොව, එය දරුවාට ලැබෙන සුරක්ෂිතම, ආරක්ෂිතම සහ ආදරය පිරුණු ස්ථානය විය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කළාය.
කුරුණෑගල, සාමෝදය විද්‍යාලයේ නවීන පහසුකම් සහිත තෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල සහ ශ්‍රවණාගාරය සිසු අයිතියට පැවරීමේ උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස අද (05) සහභාගි වෙමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව පැවසුවාය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුමිය,
"අප මෙම විද්‍යාල භූමියට පැමිණි මොහොතේ සිටම දරුවන්ගේ දක්ෂතා දැකගැනීමට හැකි වුණා. අනාගතයේදී අපේ රටේම ජනතාව මේ දරුවන්ගේ දක්ෂතා දැකගැනීමට වාසනාවන්ත වනු ඇති. රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය වන්නේ දරුවන්ට හොඳම දේ ලබාදීමයි. ගොඩනැගිලි පමණක් ලබාදීමෙන් අධ්‍යාපනය සම්පූර්ණ නොවන අතර එහි අන්තර්ගතය ද හොඳම දේ විය යුතුයි. දරුවා සිය නිවසින් පිටවී වැඩිපුරම කාලයක් ගත කරන්නේ පාසලේ බැවින්, එම පරිසරය තුළ සෙනෙහස පිරී තිබීම අනිවාර්ය බව පැවසීය.
මෙහිදී මාස 07ක් වැනි කෙටි කාලයක් තුළ රුපියල් මිලියන 41ක වියදමින් මෙම ඉදිකිරීම් කටයුතු අවසන් කර දරුවන්ගේ භාවිතයට ලබාදීම සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍යතුමිය සිය ප්‍රසාදය පළ කළ අතර අනතුරුව උත්සව අවස්ථාව සනිටුහන් කරමින් අග්‍රාමාත්‍යතුමිය විසින් විද්‍යාල භූමියේ නා පැළයක් ද රෝපණය කරන ලදී.
පාසල සතු වූ පැරණි ගොඩනැගිල්ල අබලන් වීම හේතුවෙන් දරුවන්ට විහාරස්ථානයේ පන්ති පැවැත්වීමට සිදු වූ බවත්, මෙම නව ගොඩනැගිල්ල සහ ශ්‍රවණාගාරය දරුවන් ලද විශාල ජයග්‍රහණයක් බවත් සභාව ඇමතූ සාමෝදය විද්‍යාලයේ විදුහල්පතිතුමා පැවසීය.
මෙම අවස්ථාව සඳහා කිතුල්ගොල්ලේ ඥානරතන හිමි, කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්. කේ. එස්. අස්ලම්, අශෝක ගුණසේන, නීතිඥ සරත් කරුණායක යන මහත්වරුන්, වයඹ පළාත් අධ්‍යාපන ලේකම්, කුරුණෑගල දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම්වරුන්, වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ඇතුළු නිලධාරීන්, ප්‍රාදේශීය සභා නියෝජිතයින්, ප්‍රදේශයේ විදුහල්පතිවරුන් සහ විශාල පිරිසක් සහභාගි වූහ.


