දකුණු ආසියානු ජාතික බාලදක්ෂ සංගමයේ සමුළුව අද කොළඹදී

 දකුණු ආසියානු ජාතික බාලදක්ෂ සංගමයේ  සමුළුව අද කොළඹදී
  • SocialShare:

ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරය රට තුළ ඉතා සාර්ථක ගමනක්, ගමන් කරමින්  සිටින බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් මහතා පැවසීය.

ශ්‍රී ලංකා බාලදක්ෂ මූලස්ථානයේ අද(13) පෙරවරුවේ පැවැති දකුණු ආසියානු ජාතික බාලදක්ෂ සංවිධාන සංගමයේ ප්‍රධාන කොමසාරිස්වරුන්ගේ සමුළුවට එක්වෙමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

දකුණු ආසියානු කලාපයේ බාලදක්ෂ ව්‍යාපාරයේ උන්නතිය සඳහා මෙවැනි සමුළුවක් ශ්‍රී ලංකාවේ පැවැත්වීම බාලදක්ෂ ව්‍යාපාරයට මෙන්ම රටට මහත් ජයග්‍රහණයක් හා ගෞරවයක් බව හෙතෙම කීවේය.

ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

බාලදක්ෂ ව්‍යාපාරය තුළ මේ වන විට ලක්ෂයකට අධික දරුවන් පිරිසක් එක්ව සිටිනවා.ඔවුන් රට තුළ විවිධ ක්‍රියාකාරකම්වල නිරත වෙමින් සිටිනවා.එවැනි ක්‍රියාකාරී ව්‍යාපාරයක දකුණු ආසියානු සමුළුවක් ශ්‍රී ලංකාව තුළ පැවැත්වීම රටක් ලෙස අපට මහත් ගෞරවයක්. ඒ වගේම මෙවැනි සමුළුවක් පැවැත්වීම රටට මහත් වාසියක් වෙනවා.අද පවත්වන සමුළුව මගින් දකුණු ආසියාවේ බාලදක්ෂ ව්‍යාපාරයේ උන්නතිය වෙනුවෙන් වැදගත් තීන්දු තීරණ රැසක් ගනු ඇතැයි අප විස්වාස කරනවා. මීට පෙර වෙනත් රටවල මෙම සමුළුව පවත්වලා තිබුණා. එහෙත් ලංකාවේ පළවැනි වතාවටයි මෙවැනි සමුළුවක් පවත්වන්නේ. අකුණු ආසියානු කලාපීය සමුළුවක් රට තුළ පැවැත්වීම ගැන අපි රටක්, රජයක් ලෙස සතුටු වෙනවා. ඒ වගේම අපි සුබ පතනවා බාලදක්ෂ ව්‍යාපාරය තව තවත් ජයග්‍රාගී ලෙස ඉදිරියට යන්න ලැබෙන්න කියලා. ඒ වගේම කලාපීය සහයෝගය වැඩි කරගන්න මෙය පිටුවහලක් කරගන්න කියලත් ඉල්ලා සිටිනවා.

දකුණු ආසියානු ජාතික බාලදක්ෂ සංවිධාන සංගමයේ ප්‍රධාන කොමසාරිස්වරුන්ගේ සමුළුවක් ලංකාවේ පැවැත් වූ  පළමු අවස්ථාව මෙය වන අතර  මෙම අවස්ථාවට ලෝක බාලදක්ෂ සංගමයේ මහ ලේකම් ඩේවිඩ් බර්ග්, ශ්‍රී ලංකා ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්, නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු, සභාපති රන්සිරි පෙරේරා, බාලදක්ෂිකා සංගමයේ ප්‍රධාන කොමසාරිස්, ආචාර්ය කුෂන්තා හේරත්, ආසියා- පැසිෆික් කලාපයේ අධ්‍යක්ෂ ජේත.ආර්. සී පන්ගිලිනන්, නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස්, එම්.එෆ්.එස් මුහීඩ්, ජාත්‍යන්තර කොමසාරිස්, වෛද්‍ය අසංක ඒරියාව මහත්ම මහත්මීන් ඇතුළු දකුණු ආසියානු කලාපීය රටවල ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්වරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් එක්ව සිටියහ.