පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මිරිදිය ධීවර ප්‍රජාව මුහුණ දෙන ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අද (අගෝස්තු 2) පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් පැවැත්වුණු අතර එහිදී පොළොන්නරුව දිස්ත්‍රික් මිරිදිය ධීවර ගැටලු විසඳීමට විශේෂ වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් අවධානය යොමු විය.
ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමට, නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මැතිතුමා, දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු අදාළ රාජ්‍ය නිලධාරීන් සහභාගී වූහ.
පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක මහතාගේ සංවිධානයෙන් පැවති මෙම රැස්වීමේදී, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ පහක් වන මින්නේරිය, කවුඩුල්ල, ගිරිතලේ, පරාක්‍රම සමුද්‍රය සහ මාදුරු ඔය ආශ්‍රිතව පවතින ගැටලු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. එහිදී, තහනම් දැල් ආම්පන්න භාවිතය, නීතිවිරෝධී මසුන් ඇල්ලීම් වැළැක්වීමට ඇති අපහසුතා, ආක්‍රමණශීලී ජලජ පැළෑටි වර්ධනය හේතුවෙන් ජලාශවල ධාරිතාව අඩුවීම, මත්ස්‍ය පැටවුන් තැන්පත් කිරීමේ ගැටලු සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අවසර ලබා දීමේදී පැන නගින ගැටලු පිළිබඳව ධීවර ප්‍රජාව විසින් අදහස් ඉදිරිපත් කරන ලදී.ෙ
නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා මෙහිදී අදහස් දක්වමින්, මෙය දිවයින පුරා පවත්වන මිරිදිය ධීවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම් මාලාවේ ආරම්භක රැස්වීම බව සඳහන් කළේය. ධීවර නිෂ්පාදනය ඉහළ නැංවීම, ධීවර පවුල්වල ආර්ථිකය ශක්තිමත් කිරීම සහ ධීවර නිෂ්පාදන අපනයනය තුළින් රටට විදේශ විනිමය ගෙන ඒම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණු බව එතුමා පෙන්වා දුන්නේය.
එමෙන්ම, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අදාළ ගැටලු විසඳීම සඳහා ලබන අගෝස්තු 6 වැනි දින පාර්ලිමේන්තුවේදී පරිසර අමාත්‍යවරයා, අමාත්‍යාංශ ලේකම්වරයා සහ වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා සමඟ විශේෂ රැස්වීමක් පැවැත්වීමට අපේක්ෂා කරන බව නියෝජ්‍ය අමාත්‍යතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මෙම රැස්වීමට ශ්‍රී ලංකා පොලිසිය, හමුදාව, වනජීවී සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තු ඇතුළු අනෙකුත් සියලුම අදාළ ආයතනවල නිලධාරීන් සහභාගී විය. ඊට අමතරව ධීවර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ධම්මික රණතුංග මහතා, ලංකා ධීවර සංස්ථාවේ සභාපති ජේ.ඒ.කේ. මාර්ක් මහතා, නියෝජ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් එච්.එස්. හතුරසිංහ මහතා, ජාතික ධීවර සම්මේලනයේ ලේකම් එල්.ජී. අජන්ත කුමාර මහතා, පොළොන්නරුව දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම්වරුන්, ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ (NAQDA) නිලධාරීන්, රාජ්‍ය ආයතන ප්‍රධානීන් සහ ධීවර සංවිධාන නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් ද සහභාගී වූහ.
මෙම සම්බන්ධීකරණ කමිටු රැස්වීම මඟින් පොළොන්නරුවේ මිරිදිය ධීවර කර්මාන්තය නව මාවතකට යොමු කිරීමටත්, ධීවර ප්‍රජාවගේ ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබා දීමටත් හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.


