සෞඛ්‍ය අමාත්‍යාංශයට නව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් 9 දෙනෙක්

සෞඛ්‍ය අමාත්‍යාංශයට නව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් 9 දෙනෙක්
  • SocialShare:

පසුගිය වසර එකහමාරක කාලය තුළ කාර්යක්ෂම, විධිමත් සෞඛ්‍ය සේවාවක් මෙරට ජනතාව වෙනුවෙන් පවත්වාගෙන යන අතර අමාත්‍යාංශය සිදුකළ වැදගත්ම පියවරක් වශයෙන් මෙම නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරුවලට අදාළ  පුරප්පාඩු පිරවීම හඳුන්වා දියහැකි බවත්, එය සෞඛ්‍ය අමාත්‍යාංශයේ හැරවුම්ලක්ෂයක් බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කර සිටියේ ය.

කොළඹ, මහනුවර සහ ගාල්ල ජාතික රෝහල්වල අධ්‍යක්ෂ තනතුරු ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ දීර්ඝ කාලයක් පුරප්පාඩුව පැවති නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු සඳහා නව පත්වීම් 9ක් ලබාදීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

ඊට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සහභාගීත්වයෙන්  අද (11) පෙරවරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී සිදු විය.

මෙම පත්වීම් ලබාදීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ හැරවුම් ලක්ෂයක් බව සඳහන් කළ අමාත්‍යවරයා, පසුගිය වසර එකහමාරක කාලය තුළ කාර්යක්ෂම හා විධිමත් සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීම සඳහා ගත් වැදගත්ම පියවරක් ලෙස මෙම පුරප්පාඩු පිරවීම පෙන්වා දුන්නේය.

කොළඹ, මහනුවර සහ ගාල්ල ජාතික රෝහල්වල මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් ආයතන රැසක නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු වසර 7ත් 8ත් අතර කාලයක් පුරා පුරප්පාඩුව පැවතීම හේතුවෙන් පරිපාලන හා කළමනාකරණ කටයුතු අඩාල වී තිබූ බවද අමාත්‍යවරයා පැවසීය.

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අනාගත සංවර්ධනය වෙනුවෙන් මෙම ජ්‍යෙෂ්ඨ වෛද්‍ය පරිපාලකයන්ට විශාල වගකීමක් පැවරෙන බවත්, පසුගිය කාලය තුළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පදනම් ශක්තිමත් කිරීම සඳහා සිදුකළ ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාම සඳහා ඔවුන්ගේ නායකත්වය අත්‍යවශ්‍ය වන බවත් ඔහු සඳහන් කළේය.

රාජකාරී කටයුතු ඉටු කිරීමේදී කිසිදු දේශපාලන බලපෑමකින් තොරව ස්වාධීනව කටයුතු කිරීමේ පරිසරය සකස් කර ඇති බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ “කොඳුනාරටිය” වන බවයි. ඔවුන්ට පැවරෙන වගකීම් නිසි අයුරින් ඉටු කරමින් ජනතාවට ගුණාත්මක සේවාවක් සැපයීමට කැපවිය යුතු බවද ඔහු පැවසීය.

මෙහි දී අමාත්‍යවරයා ,  විශේෂඥ වෛද්‍ය එම්.කේ.එස්.ඉන්දික කුමාර මහතා  ශ්‍රී ලංකා ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය පී.ඩී.එස්. කිරිවන්දෙනිය මහත්මිය  නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) I, විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක මහතා  නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (දන්ත සේවා), විශේෂඥ වෛද්‍ය කේ.ඩී.පී.විජේසිංහ මහතා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (අධ්‍යාපන,පුහුණු හා පර්යේෂණ), විශේෂඥ වෛද්‍ය කේ.ඒ.ඩී.ඩී.වී.එල්. කුමාරපේලි මහත්මිය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය) II, විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා  නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, ගාල්ල ජාතික රෝහල , විශේෂඥ වෛද්‍ය එස්.පී.ඒ.එල්. රණවීර මයා  නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සැපයීම්), විශේෂඥ වෛද්‍ය එම්.එන්. වීරසූරිය මයා  නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මහනුවර ජාතික රෝහල සහ විශේෂඥ වෛද්‍ය එච්.එම්.ඒ. තිලකරත්න නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (රසායනාගාර සේවා) වශයෙන් පත්වීම් ලිපි ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාවට අතිරේක ලේකම්වරුන්වන විශේෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ, ජනක කිත්සිරි ගුණවර්ධන, චාමික එච්. ගමගේ, කේ.පී. යෝගචන්ද්‍ර  සහ සමන්ති රණසිංහ යන මහත්ම මහත්මීන් මෙන්ම  එම අමාත්‍යාංශයේ  නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියහ.