නව සසාකාවා අනුස්මරණ ශ්‍රී ලංකා–ජපන් සංස්කෘතික මධ්‍යස්ථානය ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වයේ සංකේතයක්

නව සසාකාවා අනුස්මරණ  ශ්‍රී ලංකා–ජපන් සංස්කෘතික මධ්‍යස්ථානය ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වයේ සංකේතයක්
  • SocialShare:

නව සසාකාවා අනුස්මරණ ශ්‍රී ලංකා–ජපන් සංස්කෘතික මධ්‍යස්ථානය ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වයේ සංකේතයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

නව සසාකාවා අනුස්මරණ ශ්‍රී ලංකා–ජපන් සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද ( 11 ) සහභාගි වෙමින් මේ බව සඳහන් කළාය.

සසාකාවා අනුස්මරණ ශ්‍රී ලංකා–ජපාන සංස්කෘතික මධ්‍යස්ථාන භාරකාර මණ්ඩලය විසින් ආරම්භ කරන ලද මෙම සංස්කෘතික මධ්‍යස්ථානය, ශ්‍රී ලංකාව සහ ජපානය අතර සංස්කෘතික, අධ්‍යාපනය, වෘත්තීය පුහුණුව සහ ද්විපාර්ශ්වික සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් ව්‍යාපෘතියකි.

නව සසාකාවා අනුස්මරණ ශ්‍රී ලංකා–ජපාන සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කිරීම සනිටුහන් කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙහිදී සමරු ඵලකය නිරාවරණය කිරීම සිදු කළාය.

ආරක්ෂක අමාත්‍යාංශය සහ සසාකාවා සාම පදනම අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම ද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ජපානයේ නිප්පොන් පදනමේ සභාපති යොහෙයි සසාකාවා මහතා ඉදිරිපිට දී සිදු කෙරිණ.

ශ්‍රී ලංකාව සහ ජපානය අතර මිත්‍රත්වය දිගුකාලීන සංස්කෘතික හා ආධ්‍යාත්මික බැඳීම්වලින් පෝෂණය වී ඇති බවත්, ස්වභාවධර්මය, සංස්කෘතිය, අධ්‍යාපනය සහ ප්‍රජා ජීවිතය පිළිබඳ පොදු අගයන් දෙරටේ ජනතාව සමීප කර ඇති බවත් උත්සව අවස්ථාව අමතමින් අග්‍රාමාත්‍යතුමිය සඳහන් කළා ය.

සසාකාවා මධ්‍යස්ථානයේ දිගුකාලීන දායකත්වය පිළිබඳව සඳහන් කළ අග්‍රාමාත්‍යතුමිය ජපන් භාෂා අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම සහ ශ්‍රී ලංකා හා ජපාන ජනතාව අතර අන්‍යෝන්‍ය මිත්‍රත්වය ශක්තිමත් කිරීම සඳහා එය අමිල සේවාවක් ඉටු කර ඇති බව ප්‍රකාශ කළාය. නව මධ්‍යස්ථානය සංස්කෘතික හුවමාරුව, අධ්‍යාපනික සහයෝගීතාව සහ ජනතාව අතර සබඳතා තවදුරටත් වර්ධනය කිරීම සඳහා සක්‍රීය වේදිකාවක් බවට පත්වනු ඇතැයි අග්‍රාමාත්‍යතුමිය තවදුරටත් අදහස් පළ කළාය.

වැඩිවෙමින් පවතින ගෝලීය අවිනිශ්චිතතාවය හමුවේ අන්‍යෝන්‍ය ගෞරවය, පොදු අගයන් සහ සාමය සඳහා වූ කැපවීම මත ගොඩනැගුණු හවුල්කාරීත්වයන් වෙන කවරදාටත් වඩා වැදගත් බව අවධාරණය කළ අග්‍රාමාත්‍යතුමිය ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ ජපාන රජය අතර පවතින කැපවීම තහවුරු කළාය.

මෙම අවස්ථාවට ජපානයේ ශ්‍රී ලංකා තානාපති අකියෝ ඉසෝමාටා, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි, ජපානයේ නිප්පොන් පදනමේ සභාපති යොහෙයි සසාකාවා, සසාකාවා මධ්‍යස්ථාන භාරකාර මණ්ඩලයේ සභාපති ප්‍රේමලාල් ප්‍රනාන්දු යන මහත්වරුන්, රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන් සහ සම්භාවනීය ආරාධිත අමුත්තන් රැසක් සහභාගි වූහ.