සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ රෝහල් සහ සෞඛ්‍ය ආයතනවලින් ජනතාවට ලබාදෙනු ලබන සෞඛ්‍ය සේවාවන් හි වත්මන් තත්ත්වයන් පිළිබඳ පසුගිය දා පුළුල් නිරීක්ෂණයක නිරත විය.
රජයේ රෝහල් පද්ධතිය වඩාත් විධිමත්ව හා ඉහළ පහසුකම්වලින් සමන්විත රෝගී සත්කාර සේවා සමගින් පවත්වා ගෙන යාම මූලික අරමුණ කරගනිමින් දිස්ත්‍රික් මට්ටමින් එම රෝහල්වල පවතින අඩුපාඩු සොයා බලමින් එම අඩුපාඩුවලට කඩිනම් විසඳුම් ලබාදෙමින් මෙරට ජනතාවට ගුණාත්මක, විධිමත් සහ උසස් සෞඛ්‍ය සේවාවක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කර ඇති විශේෂ වැඩපිළිවෙළට සමගාමීව එම නිරීක්ෂණය සිදුවිය.
නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව මඩකලපුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ දී දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලුම ආයතන ප්‍රධානීන් සමග දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක සෞඛ්‍ය සේවාවන් පිළිබඳ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විශේෂ සාකච්ඡාවක ද නිරත විය.
මුලික රෝහල් 04 ක්, ප්‍රාදේශීය රෝහල් 18 ක්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල 14 ක් සහ ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකය 17 කින් යුත් මඩකලපුව දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරීන් ඇතුළු ආයතන ප්‍රධානීන් සමඟ මෙහි දී සාකච්ඡා කරමින් සෞඛ්‍ය සේවාවන් ක්‍රියාත්මක කිරීමේ දී පවතින ප්‍රධාන ගැටළු නිරාකරණය කිරීමටත්, සෞඛ්‍ය සේවා ගුණාත්මක හා විධිමත් අයුරින් ජනතාවට ලබාදීමට අදාළ වැදගත් වු තීන්දු තීරණ රැසක් ද ගනූ ලැබී ය.
මෙම අවස්ථාවේ දී ප්‍රාදේශීය සේවා අධ්‍යක්ෂ ආර්. මුරලිෂ්වරන් මහතා විසින් මඩකලපුව දිස්ත්‍රික්කයේ රෝහල්වලින් සපයනු ලබන රෝගී ප්‍රතිකාර සේවාවන් සහ දිස්ත්‍රික්කයේ වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ හිඟය හේතුවෙන් රෝගීන් ප්‍රතිකාර ලබා ගැනීමේ දී මුහුණ දෙන ගැටළු පිළිබඳව දීර්ඝ ලෙස අදහස් දක්වන ලද අතර, භෞතික සම්පත්, කාර්ය සාධනය, නවෝත්පාදන සංවර්ධන වැඩසටහන්, දිස්ත්‍රික්කයේ පවත්වනු ලබන සෞඛ්‍ය සායන, ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් පිළිබඳව ද සවිස්තර ඉදිරිපත් කිරීමක් සිදු කරන ලදී.
එහි දී දිස්ත්‍රික්කය තුළ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ශාඛාවක් පිහිටුවීම, රෝහල් හි භෞතික සම්පත් වැඩිදියුණු කිරීම, ප්‍රවාහන, යන්ත්‍ර සූත්‍ර හා වෛද්‍ය උපකරණ වැනි ප්‍රධාන අවශ්‍යතා ද මෙහි දී පෙන්වා දෙන ලදි.
මෙහි දී අදහස් දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මෙම වසරේ දී මෙන් ම ඉදිරි අයවැයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයට වැඩි මුදලක් වෙන් කෙරෙන බවත්, දැනට පවතින ගැටළු නිරාකරණය කරමින් ඉදිරියේ දී මානව හා භෞතික සම්පත් ද වර්ධනය කරමින් අපහසුතාවයකින් තොරව වෛද්‍ය සේවා සැපයීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කිරීමට පියවර ගන්නා බවයි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙරට සෞඛ්‍ය සේවා පද්ධතිය ශක්තිමත් කිරීම සහ නඟා සිටුවීමට පියවර ගැනීම අගයමින් මඩකලපුව දිස්ත්‍රික් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරී එකමුතුව විසින් මෙහි දී අමාත්‍යවරයා වෙත සමරු සිහිවටනයක් ප්‍රදානය කිරීමටද කටයුතු කෙරිණි.
මෙම අවස්ථාවට මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කන්දසාමි ප්‍රභූ, මඩකලපුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ආර්. මුරලීස්වරන් මඩකලපුව ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය කේ. ගනේෂලිංගම්, නැගෙනහිර පළාත් සෞඛ්‍ය සේවා අමාත්‍යාංශයේ ලේකම් එච්.ඊ.ඩබ්.ජී දිසානායක, නැගෙනහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය පී.එස්.එන් විමලරත්න යන මහත්ම මහත්මීන් මෙන් ම වෛද්‍ය නිලධාරීන් ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් රැසක් සහභාගී වූහ.


