2011 වසරේ හාලිඇල මොරගොල්ල වත්ත ප්‍රදේශයේ සිදු වූ නායයෑමෙන් අවතැන් වූ පවුල් 54ක් සඳහා ආරම්භ කර තිබූ නමුත් වසර 14ක් පුරා ප්‍රමාදයට ලක්ව තිබූ නිවාස ව්‍යාපෘතියේ වැඩකටයුතු මේ වන විට යළි කඩිනමින් ක්‍රියාත්මක වෙමින් පවතී.
2011 වසරේදී ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය යටතේ පවුල් 54කට නිවාස ලබාදීමට සැලසුම් කර තිබුණද, 2025 වසර වන විටත් එකදු නිවසක් හෝ සම්පූර්ණ කර නොතිබූ අතර නිවාස 24ක ඉදිකිරීම් මුල් අදියරේ නතර වී තිබුණි. ඉතිරි නිවාස 30 ද අසම්පූර්ණව අතහැර දමා තිබීම හේතුවෙන් අවතැන් වූ ජනතාව දිගු කාලයක් තිස්සේ විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දී තිබේ.
වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ මගපෙන්වීම යටතේ රජයේ “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” වැඩසටහනට සමගාමීව 2025 වසරේ ඔක්තෝබර් මාසයේදී ව්‍යාපෘතිය යළි ආරම්භ කරන ලදි. එහි පළමු අදියර සඳහා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයෙන් රුපියල් මිලියන 62.3ක මුදලක් වෙන් කර ඇති අතර, සම්පූර්ණ නිවාස 24ක ඉදිකිරීම් මේ වන විට අවසන් අදියරේ පවති. එමෙන්ම අසම්පූර්ණව පවතින ඉතිරි නිවාස 30 සඳහා රුපියල් මිලියන 60.7ක වියදමින් දෙවන අදියරේ ඉදිකිරීම් නුදුරේදීම ආරම්භ කිරීමට නියමිතය.
නිවාසලාභීන් මුහුණ දෙන පානීය ජල ගැටලුවට ස්ථිර විසඳුමක් ලබාදීමේ අරමුණින් රුපියල් මිලියන 5.9ක වියදමින් නව ජල සැපයුම් ව්‍යාපෘතියක් ද මෙම නිවාස ව්‍යාපෘතියට සමගාමීව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. දෙවන අදියරේ වැඩ ආරම්භ කිරීමට පෙර බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරයා පසුගියදා මොරගොල්ල ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් ජනතාව සමඟ විශේෂ සාකච්ඡාවකට ද එක්විය. එහිදී ව්‍යාපෘතියේ ප්‍රගතිය සහ ජනතාවගේ අවශ්‍යතා පිළිබඳව ද අවධානය යොමු කර ඇත.
බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ හාලිඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සෘජු අධීක්ෂණය යටතේ ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු ක්‍රියාත්මක වන අතර, නිරීක්ෂණ චාරිකාව සඳහා බදුල්ල සහකාර දිස්ත්‍රික් ලේකම්, හාලිඇල සහකාර ප්‍රාදේශීය ලේකම්, දිස්ත්‍රික් ඉංජිනේරු ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.


