“අසල්වැසි රටවල් සමඟින් එක්වූ අනාගතයක් සඳහා සහයෝගී හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම” යන තේමාව යටතේ චීනයේ යුන්නාන් පළාතේ කුන්මින් නගරයේ පැවති 7වන චීන–දකුණු ආසියා සහයෝගිතා සමුළුව අමතමින් ශ්‍රී ලංකාව නියෝජනය කළ නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා කලාපීය සහයෝගිතාව, අන්‍යෝන්‍ය ගෞරවය සහ හවුල් සංවර්ධනය පිළිබඳ ශ්‍රී ලංකාවේ කැපවීම යළි තහවුරු කළේය.
සමුළුවේදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා, කලාපය පුරා තිරසාර වර්ධනය, ස්ථාවරත්වය සහ සෞභාග්‍යය ප්‍රවර්ධනය කිරීම සඳහා අසල්වැසි රටවල් අතර හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කළේය.
ශ්‍රී ලංකාව සහ චීනය අතර සියවස් ගණනාවක් පුරා ගොඩනැගී ඇති මිත්‍රත්වය දෙරටේ සමාජ-ආර්ථික සංවර්ධනයට වැදගත් දායකත්වයක් ලබා දී ඇති බව සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, එම සබඳතාව ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ ප්‍රධාන කුළුණක් ලෙස පවතින බවද පෙන්වා දුන්නේය.
ස්ථාවර, විනිවිදභාවයෙන් යුත් හා ආයෝජක හිතකාමී ආර්ථිකයක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳවද කරුණු පැහැදිලි කළ අමාත්‍යවරයා, වෙළෙඳාම, ආයෝජන, සංචාරක ව්‍යාපාරය, ඩිජිටල් පරිවර්තනය, පුනර්ජනනීය බලශක්තිය, කෘෂිකර්මාන්තය, අධ්‍යාපනය සහ කුසලතා සංවර්ධනය රටේ ආර්ථික ප්‍රවර්ධනයේ ප්‍රමුඛ ක්ෂේත්‍ර බව සඳහන් කළේය.
ඉන්දීය සාගරයේ ශ්‍රී ලංකාව සතු උපායමාර්ගික පිහිටීම හේතුවෙන් දකුණු ආසියාව, නැගෙනහිර ආසියාව සහ ගෝලීය වෙළෙඳපොළ අතර සම්බන්ධක කේන්ද්‍රස්ථානයක් ලෙස කටයුතු කිරීමේ හැකියාව පිළිබඳවද නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.
එමෙන්ම, සංචාරක ව්‍යාපාරය, අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය, තේ සහ මැණික් කර්මාන්ත, සෞඛ්‍ය සේවා, වෙළෙඳාම, ප්‍රවාහනය, නවෝත්පාදන සහ සංස්කෘතික හුවමාරු යන ක්ෂේත්‍රවල යුන්නාන් පළාත සමඟ සහයෝගිතාව තවදුරටත් පුළුල් කිරීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බවද ඔහු ප්‍රකාශ කළේය.
කලාපීය මට්ටමින් නිර්මාණාත්මක සහභාගීත්වය සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම යළි තහවුරු කළ නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා, චීනය සහ දකුණු ආසියානු හවුල්කරුවන් සමඟ එක්ව සාමකාමී, සෞභාග්‍යමත් සහ තිරසාර කලාපීය අනාගතයක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකාව අඛණ්ඩව කටයුතු කරන බව සඳහන් කළේය.


