නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනයේ (ACCIMT) තාක්ෂණික සහාය යටතේ රාගම රක්තවාතවේද හා පුනරුත්ථාපන රෝහලේ භාවිතයෙන් ඉවත් කර තිබූ අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ රැසක් සාර්ථකව අලුත්වැඩියා කර යළි භාවිතයට එක් කර තිබේ.
මෙම වැඩසටහන යටතේ අලුත්වැඩියා කරන ලද, නවීකරණය කරන ලද සහ ප්‍රතිනිර්මාණය කරන ලද උපකරණවල පළමු තොගය පසුගියදා විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රෝහල වෙත නිල වශයෙන් භාරදෙන ලදී.
අමාත්‍යවරයා රෝහලේ සිදු කළ නිරීක්ෂණ චාරිකාවකදී මෙම උපකරණ දිගු කාලයක් භාවිතයෙන් ඉවත් කර තිබීම පිළිබඳ අවධානය යොමු කිරීමෙන් අනතුරුව, ආතර් සී. ක්ලාක් ආයතනයේ ඉංජිනේරුවන් මේ සඳහා සහභාගී වී තිබේ.
IR Timers, Industrial Ovens, Patient Standing Aid Units, Multimonitors, Tilting Bed Controllers ඇතුලු උපකරණ රැසක් මෙලෙස අලුත්වැඩියා කර ඇති අතර, ඇතැම් උපකරණ සඳහා ඉහළ අලුත්වැඩියා ඇස්තමේන්තු ඉදිරිපත්ව තිබූ අතර තවත් සමහර උපකරණවල නිෂ්පාදක සමාගම් මේ වන විට ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ඒවා භාවිතයෙන් ඉවත් කර තිබිණි.
ආසන්න වශයෙන් රුපියල් මිලියන 3ක වටිනාකමකින් යුත් මෙම උපකරණ, ආතර් සී. ක්ලාක් ආයතනයේ ඉංජිනේරුවන්ගේ විශේෂඥ දැනුම සහ කැපවීම මත රුපියල් 5,000කටත් අඩු පිරිවැයකින් යළි සක්‍රීය කිරීමට හැකිවීම මෙම වැඩසටහනේ විශේෂත්වය වේ.
තවද, ශාරීරික ආබාධ සහිත රෝගීන් සඳහා අවශ්‍ය විශේෂිත සත්කාර උපකරණ නවීකරණය කිරීම සහ ප්‍රතිනිර්මාණය කිරීම සඳහාද ආතර් සී. ක්ලාක් ආයතනය එකඟතාව පළ කර ඇති අතර, ඒ සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමක් යටතේ ඉදිරි කටයුතු සිදුකිරීමට නියමිතය.


