FIFA ප්‍රේක්ෂක කලාපය විවෘත වෙයි - ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාංගනයක් ඉදිකිරීමට FIFA සහාය

FIFA ප්‍රේක්ෂක කලාපය විවෘත වෙයි - ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාංගනයක් ඉදිකිරීමට FIFA සහාය
  • SocialShare:

2026 FIFA ලෝක පාපන්දු කුසලාන තරගාවලිය සජීවීව නැරඹීම සඳහා සකස් කළ නිල ප්‍රේක්ෂක කලාපය (FIFA Fan Zone 2026) කොළඹ කොටුව යෝර්ක් වීදියේදී ඊයේ (11) විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

සමාරම්භක උත්සවය අමතමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මට්ටමේ පාපන්දු ක්‍රීඩාංගනයක් ඉදිකිරීම සඳහා FIFA සංවිධානයේ සහාය හිමිව ඇති බවයි. ඒ අනුව මීගමුව කඩොල්කැලේ ක්‍රීඩාංගන භූමියේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, ඒ සඳහා අවශ්‍ය මූලික නෛතික කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවද හෙතෙම සඳහන් කළේය.

ක්‍රීඩා සංචාරක ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා පාපන්දු ක්‍රීඩාව ප්‍රබල මෙවලමක් වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ජාත්‍යන්තර තරගාවලි ශ්‍රී ලංකාව තුළ පැවැත්වීම මඟින් සංචාරක කර්මාන්තයට නව ප්‍රබෝධයක් හිමිවන බව අවධාරණය කළේය.

එමෙන්ම, 1837 වසරේ සිට ඉතිහාසයට උරුමකම් කියන ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය නවීකරණය කිරීම සඳහා රජය දැනටමත් තීරණ ගෙන ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ලෝක කුසලාන පාපන්දු තරග සජීවීව නැරඹීම සඳහා මෙම ප්‍රේක්ෂක කලාපය වෙත පැමිණෙන ලෙස සියලු පාපන්දු ලෝලීන්ට ආරාධනා කළ අමාත්‍යවරයා, මෙම වැඩසටහන සංවිධානය කළ සියලු පාර්ශ්වයන්ටද සිය ප්‍රශංසාව පළ කළේය.