වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ සරණංකර සංඝරාජයන් වහන්සේගේ ජන්ම දිනය තේමා කරගනිමින් වාර්ෂිකව පවත්වනු ලබන “ජාතික පිරිවෙන් දින රාජ්‍ය මහෝත්සවය” මෙවර මහනුවර දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇතැයි පිරිවෙන් අධ්‍යක්ෂ පූජ්‍ය මාදෝවිට වජිරබුද්ධි ස්වාමින් වහන්සේ ප්‍රකාශ කරයි.
පූජ්‍ය මාදෝවිට වජිරබුද්ධි ස්වාමින් වහන්සේ මේ බව පැවසුවේ අද (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති “ජාතික පිරිවෙන් දින රාජ්‍ය මහෝත්සවය - 2026” පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දක්වමිනි.
පිරිවෙන් අධ්‍යාපන මණ්ඩලයත්, අධ්‍යාපන අමාත්‍යංශයේ පිරිවෙන් ශාඛාවත්, සමස්ථ ලංකා කෘත්‍යාධිකාරී පරිවේණාධිපති සංගමයත් සාකච්ඡා කර 2007 වසරේ පිරිවෙන් දිනයක් නියම කරගත් බවද පිරිවෙන් ජාතික ගීයක් සහ පිරිවෙන් කොඩියක් නිර්මාණය කරමින් මෙම වසරේ මෙම උත්සවය පැවැත්වීමට කටයුතු සූදානම් වන බවද සඳහන් කළේය.
මෙරට බෞද්ධ අධ්‍යාපනය නැවත ස්ථාපනය කළ උපසම්පදාව ඇති කරමින් මෙරට ධර්මධර, විනයධර යතිවරයාණන් වහන්සේලා බිහිකිරීමේ පුරෝගාමීත්වය ගත් වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ සරණංකර සංඝරාජයන් වහන්සේගේ ජන්ම දිනය තේමා කරගනිමින් උන්වහන්සේට උපහාරයක් වශයෙන් සඟරජ බුහුමන් ලෙස මෙම ජාතික පිරිවෙන් දිනය නම්කළ බවද පිරිවෙන් අධ්‍යක්ෂ පූජ්‍ය මාදෝවිට වජිරබුද්ධි ස්වාමින් වහන්සේ වැඩිදුරටත් පැවසුවේය.


