ධීවර කර්මාන්තයේ ගැටලුවලට කඩිනම් විසඳුම්.. දිස්ත්‍රික් ධීවර සම්බන්ධීකරණ කමිටුව රැස්වෙයි

ධීවර කර්මාන්තයේ ගැටලුවලට කඩිනම් විසඳුම්.. දිස්ත්‍රික් ධීවර සම්බන්ධීකරණ කමිටුව රැස්වෙයි
  • SocialShare:

ධීවර කර්මාන්තය මුහුණ දෙන ගැටලු සහ අභියෝග සාකච්ඡා කර, ඒ සඳහා ප්‍රායෝගික විසඳුම් ලබාදීමේ අරමුණින්, ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ධීවර සම්බන්ධීකරණ නිලධාරීන්ගේ රැස්වීමක් ඊයේ දින(25) අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.

මුහුදු කූඩැල්ලන්, හක්බෙල්ලන්, පොකිරිස්සන් සහ විසිතුරු මසුන් ඇල්ලීම සඳහා කිමිදුම් බලපත්‍ර නිකුත් කිරීමේදී විනිවිදභාවය සහතික කිරීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව මෙහිදී තීරණය කළේය. ඔක්තෝබර් 30 වන දින සිට අයදුම්පත් කැඳවන අතර, අයදුම්කරුවන්ගේ පළපුරුද්ද, යාත්‍රා හිමිකාරීත්වය සහ රක්ෂණාවරණය වැනි කරුණු මත පදනම්ව, සම්මුඛ පරීක්ෂණයකින් අනතුරුව බලපත්‍ර නිකුත් කිරීමට නියමිතය.

ධීවර ප්‍රජාවගෙන් යොමු වූ ඉල්ලීම් සලකා බලා, VMS යන්ත්‍ර සඳහා අයකරන මාසික ගාස්තුව කළමනාකරණය කළ හැකි මට්ටමකට අඩු කිරීමට අදාළ සමාගම එකඟතාව පළ කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මැතිතුමා මෙහිදී අනාවරණය කළේය. එමෙන්ම, මාස තුනකට වඩා වැඩි කාලයක් අක්‍රීයව පවතින යාත්‍රාවල VMS ගාස්තුව අත්හිටුවීමටද පියවර ගැනේ.

වසර 10කට පමණ පසු, දිවයිනම ආවරණය වන පරිදි ධීවර යාත්‍රා සංගණනයක් අගෝස්තු මස 4 වන දින සිට 20 වන දින දක්වා පැවැත්වීමට ද නියමිතය. මෙමගින් රටේ ධීවර යාත්‍රා පිළිබඳ යාවත්කාලීන දත්ත පද්ධතියක් නිර්මාණය කිරීමට අපේක්ෂා කරන අතර, සංගණනයට ඉදිරිපත් නොවන යාත්‍රාවල මෙහෙයුම් බලපත්‍ර අලුත් නොකිරීමටද තීරණය කර ඇත.

පසුගිය කාලයේ සිදුවූ ධීවර අනතුරු සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සහ සමූපකාර රක්ෂණ සමාගම මගින් ක්‍රියාත්මක වන ධීවර රක්ෂණ ක්‍රමවේදයන් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යාංශ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතා, ධීවර ජීවිත සහ දේපළ සුරක්ෂිත කිරීම සඳහා රක්ෂණයේ වැදගත්කම අවධාරණය කළේය. ධීවරයින්ට රෝහල්ගත වීමේදී, දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලදී සහ හදිසි අනතුරකදී මූල්‍යමය සහන සැලසෙන පරිදි රක්ෂණ ක්‍රම සකස් කර ඇති බවත්, ඒ පිළිබඳව ධීවර ප්‍රජාව දැනුවත් කිරීමේ අවශ්‍යතාවත් ඔහු පෙන්වා දුන්නේය.

රටේ ආර්ථික සංවර්ධනයට ධීවර ප්‍රජාවගේ දායකත්වය ලබාගැනීම සඳහා, දිස්ත්‍රික් මට්ටමින් අක්‍රීයව පවතින ධීවර සමිති නැවත සක්‍රීය කර, ඔවුන්ට පුහුණු වැඩසටහන් සහ ණය පහසුකම් ලබාදීමටද මෙහිදී සාකච්ඡා විය.

මෙම සාකච්ඡාව, ධීවර කර්මාන්තය මුහුණ දෙන ගැටලුවලට ප්‍රායෝගික විසඳුම් ලබාදීම සඳහා වූ වැදගත් පියවරක් වූ අතර, සියලු පාර්ශ්වයන්ගේ සහයෝගයෙන් ධීවර කර්මාන්තය නගාසිටුවීමට රජය කැපවී සිටින බව නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා අවධාරණය කළේය.

මෙම අවස්ථාව සඳහා ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අබුබකර් ආදම්බාවා, අර්කම් ඉල්යාස්, රොෂාන් අක්මීමන යන මහත්වරුන්, දිස්ත්‍රික් ධීවර නියෝජිතයින්, සහ රක්ෂණ සමාගම්වල නියෝජිතයින් ඇතුළු පාර්ශ්ව රැසක් සහභාගී විය.