ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුමට අදාළ ලිපි අත්සන් තැබේ

ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුමට අදාළ ලිපි අත්සන් තැබේ
  • SocialShare:

ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා නිල ණය හිමි කමිටුව සමඟ 2024 ජුනි 26 දින අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමට (MoU) අනුව, ප්‍රංශ රජය හා ශ්‍රී ලංකා රජය අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ද්විපාර්ශ්වික ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ ලිපිය අත්සන් කිරීම ඊයේ (24) මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේදී සිදු විය.

එම ක්‍රියාත්මක කිරීමේ ලිපියට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා අත්සන් තැබූ අතර, ප්‍රංශ රජය වෙනුවෙන් Agence Francaise de Developpement (AFD), ආයතනයෙහි මෙරට අධ්‍යක්ෂ Yazid BENSAÎD මහතා එක්ව තිබේ.

එමෙන්ම Bpifrance Assurance Export සහ Banque de France යන ආයතනවලට අදාළ ක්‍රියාත්මක කිරීමේ ලිපිවලටද මෙහිදී අත්සන් කර ඇත.

ඉහත සඳහන් ක්‍රියාත්මක කිරීමේ ලිපි අත්සන් කිරීමත් සමඟ ශ්‍රී ලංකා රජය සහ ප්‍රංශ ජනරජය අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ අවසානය සනිටුහන් වේ.

එහි ප්‍රතිඵලයක් ලෙස තාවකාලිකව අත්හිටුවන ලද සංවර්ධන ව්‍යාපෘති සාර්ථකව නිම කිරීමට සහ නව ව්‍යාපෘති සඳහා ප්‍රංශ රජයේ සියලුම ණය ලබාදෙන ආයතන මඟින් මූල්‍යකරණය නැවත ආරම්භ කිරීමටත් මූල්‍යකරණය සුරක්ෂිත කිරීමටත් එමඟින් ශ්‍රී ලංකා රජයට හැකියාව ලැබෙනු ඇත.