හැකි සෑම අවස්ථාවකම ඉන්ධන මිල සහනය ජනතාවට ලබා දීමට කටයුතු කරනවා - කැබිනට් ප්‍රකාශක

හැකි සෑම අවස්ථාවකම ඉන්ධන මිල සහනය ජනතාවට ලබා දීමට කටයුතු කරනවා - කැබිනට් ප්‍රකාශක
  • SocialShare:

හැකි සෑම අවස්ථාවකම ඉන්ධන මිල සහනය ජනතාවට ලබා දීමට කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.ජනපතිවරයා බලයට පත් වූ පසු අවස්ථා කිහිපයකදීම ඉන්ධන මිල අඩුකිරීමට රජය කටයුතු කර ඇති බවද අමාත්‍යවරයා කීය.

අද (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.  

තෙල් මිල ගණනය කරන්නේ  මිල සූත්‍රය අනුව බවත්, ඒ ඒ මාසයේ තෙල් මිලෙහි  සාමාන්‍ය අගය අනුව එය ගණනය කරන බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

උදාහරණයක් ලෙස ජුනි මාසයේ තෙල් මිලෙහි සාමන්‍ය ගණනය කර ජූලි මාසය සඳහා තෙල් මිල ගණනය කරන බවත්, මිල සූත්‍රය අනුව  ජුනි 30 වෙනිදාට  එම ගණනය කිරීම් සිදු කරන බව අමාත්‍යවරයා පැහැදිළි කළේය. මිල සූත්‍රයක් මත පදනම්ව  ඉන්ධන මිල තීරණය කරන බැවින් , සිදුවන උච්ඡාවචනයන්ට මුහුණ දීමට සිදුවන බවද අමාත්‍යවරයා කීය.

පසුගිය සමයේ තෙල් මිලදී ගැනීමේදී සිදු වූ අක්‍රමිකතාවන්ට දැනුත් වන්දිගෙවමින් සිටින බවද කීය. තෙල් සංස්ථාවට ණය ගෙවීමට නොතිබුණේ නම්,  මීට වඩා සාධාරණයක් ජනතාවට සිදුකිරීමට තිබූ බවද අමාත්‍යවරයා කීය.

" පසුගිය ආණ්ඩුව කළ දේවල් එ් ආණ්ඩුව ගෙදර ගිය සැනින් අවසන් වන්නේ නැහැ. ඒවත් ගණන් හදමින් ජනතාව මත අවම බර පටවමින් මෙම කටයුතු සිදු කරනවා. ජනාධිපතිවරයා පත් වූ අවස්ථාවේ සිට  අවස්ථා කිහිපයකදීම තෙල් මිල අඩු කිරීමට රජය කටයුතු කළා.

මිල සූත්‍රය අනුව කටයුතු කරන නිසා මෙම අවස්ථාවේ  තෙල් මිල වැඩි කරන්න සිදු වුණා. කොමිස් ගහපු කෙනා ගෙදර ගිය පමණින් එය අවසන් වන්නේ නැහැ. අපට බරක් හැටියට එම වන්දි ගෙවන්න සිදු වුණා. කොමිස් ගහපු කෙනා ගෙදර ගියාට එහි බලපෑම තව ටික කාලයක් ඉදිරියට යනවා. ඔවුන් තෙල් සංස්ථාව මත පටවපු බර අවසන් වන්නේ නැහැ.  "