බිම්ස්ටෙක් මහලේකම් සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා අතර හමුවක්

බිම්ස්ටෙක් මහලේකම් සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා අතර හමුවක්
  • SocialShare:

සෞඛ්‍ය හා ජනමාධ්‍ය  නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා  සහ බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල බහු ආංශික තාක්ෂණික ආර්ථික සහයෝගීතාව සඳහා වන එකමුතුවේ (Bengal Initiative for Multi-Sectorial Technical and Economic Cooperation) (BIMSTEC) මහලේකම් තානාපති අම්බ් ඉන්ද්‍රා මනි පාණ්ඩේ මහතා (H.E. Ambassador Indra Mani Pandey) අතර හමුවක් අද (19) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය. 

මෙම හමුවේ දී විවිධ බිම්ස්ටෙක් මුලපිරීම් යටතේ කලාපීය සහයෝගීතාව මෙන්ම සෞඛ්‍ය, තාක්ෂණික සහ ඩිජිටල්කරණය ඇතුළු සහයෝගීතාවයේ ප්‍රධාන ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කෙරිණි.

මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ, විද්‍යා, තාක්ෂණ සහ නවෝත්පාදන අංශයන් හි ප්‍රගමනය උදෙසා රජය ගෙනයන වැඩපිළිවෙල  පිළිබඳව මහලේකම්වරයා සිය ප්‍රශංසා ව පළ කළ අතර, බටහිර සහ දේශීය වෛද්‍ය අංශ දෙකම ඉහළ නැංවීමට BIMSTEC සහ ශ්‍රී ලංකාව අතර අනාගත සහයෝගීතාවයේ ශක්තිමත්භාවය මෙන්ම ඊට අදාළ විභව ක්ෂේත්‍රයන් පිළිබඳව ද එ් මහතා මෙහිදී කරුණු දක්වන ලදි.

කලාපීය සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා කැපවූ උත්සාහයන් මෙන්ම බිම්ස්ටෙක් සාමාජික රටවල් අතර ආර්ථික හා සමාජීය සංවර්ධනය ඉදිරියට ගෙන යාම සඳහා ගන්නා තීන්දු තීරණ පිළිබඳ ව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා BIMSTEC මහලේකම් තානාපති අම්බ් ඉන්ද්‍රා මනි පාණ්ඩේ මහතා ඇතුළු කාර්ය මණ්ඩලයට සිය කෘතඥතාව මෙහිදී පළ කරන ලදි. බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල බහු ආංශික තාක්ෂණික ආර්ථික සහයෝගීතාව සඳහා වන එකමුතුව තුළ කලාපීය සහයෝගීතාව සඳහා ශ්‍රී ලංකාවේ අඛණ්ඩ කැපවීම ද අවධාරණය කරන ලදි.

බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල බහු ආංශික තාක්ෂණික ආර්ථික සහයෝගීතාව සඳහා වන එකමුතුවට  බංග්ලාදේශය, ඉන්දියාව, මියන්මාරය, ශ්‍රී ලංකාව, තායිලන්තය, භූතානය සහ නේපාලය යන රටවල් 07 ඇතුළත් වේ.  

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.