එළඹෙන සිංහල දමිළ අලුත් අවුරුද්දට ලංගමයෙන් මගී ජනතාවට විශේෂ ත්‍යාගයක් වශයෙන් නව මධ්‍යම බස් නැවතුම් පොළකින් සිය ගම්බිම් බලා යන්න අවස්ථාවක් ලබාදීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (16) ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් මධ්‍යම බස් නැවතුම්පොළේ පැවති නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනි.
මෙම මධ්‍යම බස් නැවතුම්පොළ ශ්‍රී ලංකාවේ ප්‍රධාන බස් නැවතුම්පොළ වන බවත් දෛනිකව බස් ගමන්වාර 2000ක් පමණ සිදුවන බවත් මෙම ස්ථානයේ තත්ත්වය ඉතාමත්ම අයහපත් වන බවත් සඳහන් කළ අමාත්‍යවරයා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ, ආරක්ෂක අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව, ලංකාවේ ප්‍රධාන බස් නැවතුම්පොළවල් 50 ක් ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම් කර තිබෙන බව සඳහන් කළේය.
ආරක්ෂක අමාත්‍යාංශය සහ බස්නාහිර පළාත් සභාව මෙම ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් සැලසුම් සකස්කොට ඉදිරිපත් කර ඇති අතර ඉන් වඩාත් යෝග්‍ය සැලසුම ක්‍රියාත්මක කර, වසරක් වැනි කාලයක් තුළ මෙම ප්‍රතිසංස්කරණ කටයුතු නිම කරන ලෙස අමාත්‍යවරයා එහිදී නිලධාරීනට උපදෙස් ලබා දී ඇත.
මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ නීති රීති 85 ක් ජූනි 30 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා ලංගම මෙන්ම පුද්ගලික බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන්ද යම්කිසි සමාජ ආරක්ෂණ ක්‍රමයකට අනුගත කරගෙන, වසරක් වැනි කාලයක් ඇතුලත ඔවුන්ට විශ්‍රාම වැටුප් ක්‍රමයක් හෝ සැකසීමට උත්සාහ කරන බවද අමාත්‍යවරයා වැඩ්දුරටත් සඳහන් කළේය.