දේශීය ඖෂධ නිෂ්පාදකයා දිරිගන්වමින් මෙරට ඖෂධ නිෂ්පාදන කර්මාන්තයේ සංවර්ධනයට රජයේ උපරිම සහය

දේශීය ඖෂධ නිෂ්පාදකයා දිරිගන්වමින් මෙරට ඖෂධ නිෂ්පාදන කර්මාන්තයේ සංවර්ධනයට රජයේ උපරිම සහය
  • SocialShare:

සෙලෝජන් ලංකා (පුද්) සමාගමේ පළමු ඖෂධ තොගය අපනයනය පේරු රාජ්‍යයට 

රජයක් ලෙස මෙරට දේශීය ඖෂධ නිෂ්පාදකයා දිරිගන්වමින්, ඖෂධ නිෂ්පාදන කර්මාන්තයේ සංවර්ධනයට  දිය හැකි උපරිම සහාය අඛණ්ඩව ලබා දෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.

අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ සෙලෝජන් ලංකා (පුද්) සමාගම (Celogen Lanka (pvt) Ltd) මගින් අපනයනය සදහා සූදානම් කළ ප්‍රථම ඖෂධ තොගය සංකේතාත්මකව හදුන්වා දීමේ අවස්ථාවට එක්වෙමිනි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පසුගියදා එම කාර්යය සිදුවිය.

සෙලෝජන් ලංකා (පුද්) සමාගමේ සභාපති වී. නඩරාජා මහතා විසින් එම ඖෂධ තොගය සංකේතාත්මකව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාට හදුන්වා දීමට මෙහි දී පියවර ගන්නා ලදී.

හෘද රෝගීන් සදහා භාවිතා කරන මෙම ඖෂධ තොගය පේරු රාජ්‍ය සදහා අපනයනය කිරීමට සෙලෝජන් ලංකා (පුද්) සමාගම සැලසුම් කර ඇත. එම  ඖෂධ තොගයේ වටිනාකම රුපියල් මිලියන 45 කි. 

මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාවේ භාවිතය සඳහා ගුණාත්මකභාවයෙන් ඉහළ ඖෂධ නිෂ්පාදනය කර අඛණ්ඩව සෞඛ්‍ය අමාත්‍යාංශයට ද, එමෙන් ම විදේශයන්ට ද, සැපයීමට කටයුතු කරන අතර ම පෞද්ගලික ඖෂධ ශාලාවලින් ඖෂධ මිල දී ගන්නා මෙරට ජනතාවට ද ඒ අයුරින් ම ගුණාත්මකභාවයෙන් ඉහළ ඖෂධ සාධාරණ මිලකට ලබා දීමට කටයුතු කරන ලෙසට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙහි දී ඖෂධ නිෂ්පාදන සමාගම්වලින් විශේෂ ඉල්ලීමක් ද කළේ ය.

මෙරට ඖෂධ නිෂ්පාදන කර්මාන්තයේ සංවර්ධනය ට  බාධාවක්ව පැවති 18 % ක ආනයනික ඇසුරුම් ද්‍රව්‍ය  සදහා වූ  වැට් (VAT) බද්ද මෙවර අයවැයෙන් සම්පූර්ණයෙන්ම ඉවත්කර දේශීය ඖෂධ නිෂ්පාදකයා  දිරිගැන්වීමට වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා සහ රජය ගත් දූරදර්ශී තීරණය හේතුවෙන් ඖෂධ නිෂ්පාදනයේ ප්‍රගතියක් මේ වන විට සිදුව ඇති බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස මෙම ඖෂධ අපනයනය සිදුවන බවත්, මීළඟ ඖෂධ ඇණවුම පිලිපීනයට යැවීමට සැලසුම් කර ඇති බවත් සෙලෝජන් ලංකා (පුද්) සමාගමේ සභාපති වී. නඩරාජා මහතා මෙහි දී අමාත්‍යවරයා හමුවේ පැවසී ය.

මහනුවර පල්ලේකැලේ අපනයන සැකසුම් කලාපය තුළ පිහිටි සෙලෝජන් ලංකා (පුද්) සමාගම මගින්  ඖෂධ වර්ග 180 කට අධික ප්‍රමාණයක් දේශීයව නිෂ්පාදන කරනු ලබන අතර එම නිෂ්පාදන කටයුතු 2019 වර්ෂයේ දී අරම්භ කර ඇත. මෙම නිෂ්පාදන වලින් 100 කට ආසන්න ප්‍රමාණයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ අවශ්‍යතාවය සදහා ලබා දීමට කටයුතු කරන බවත් වී. නඩරාජා මහතා මෙහි දී වැඩිදුරටත් පැවසී ය.

මෙම අවස්ථාවට ඖෂධ සහ සෞඛ්‍ය සේවා (පුද්) සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ නිරෝෂන් ප්‍රනාන්ඳු මහතා සහ සෙලෝජන් ලංකා (පුද්) සමාගමේ නියෝජිතයින් ඇතුළු පිරිසක් ද එක්ව සිටිය හ.

 

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.