සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පහසුකම් සහ වෘත්තීය සංවර්ධනය ඉහළ නංවන්න රජය කටයුතු කරන බවත්, හෙද හෙදියන් මානුෂීයව තම සේවාව ලබා දෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
හෙද හෙදියන් 3147ක් සඳහා පත්වීම් ලබා දීම වෙනුවෙන් අද (24)අරලියගහ මන්දිරයේ පැවති උත්සවයක් අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,
“ජීවිතේ අලුත් ගමනක් අරඹමින් හෙද නිලධාරිනියක් ලෙස රාජ්‍ය සේවයට එකතු වුණු සියලුම දෙනාට සුබ පතනවා. ලෝකයේ තිබෙන වෘත්තීන් අතරින් අතිශයින්ම වැදගත් අතිශයින්ම ගෞරවාන්විත වෘත්තියකට තමයි ඔබ පිවිසෙන්නේ.
හෙද වෘත්තිය රැකියාවට එහා ගිය මානවහිතවාදී ජනතාවට අත්‍යවශ්‍ය සේවාවක්. අපි කවුරු වුවත් අසරණ වුණු වෙලාවට එන්නේ ඔබගේ සුරක්ෂිතභාවය බලාපොරොත්තුවෙන්.
බෙහෙත් වලට අමතරව ඔබගේ සිනහව, කතා විලාෂය, කරුණාව සහ රැකබලාගන්නා විදිය යන කරුණු සියල්ල තුල අප සුවපත් කිරීමේ වැඩි බලපෑමක් කිරීමේ හැකියාව ඔබ සතුව තිබෙනවා.
ඔබ ඔබේ රැකියාව කිරීමේ දී විශාල කැපකිරීමක් කරමින් සේවය ලබා දෙනවා. එය කායික කැපකිරීමක් වගේම මානසික කැප කිරීමක්. වාඩි වෙන්න අවස්ථාවක් නැහැ. නිදිවර්ජිතව සිටින අවස්ථාවන් බොහොමයි. ඒ කැපකිරීම් තුලින් ඔබට ඔබගේ පුද්ගලික ජීවිතයටත් බලපෑමක් වෙනවා. ඔබේ පවුල් ජීවිතය, පවුලේ අය සමඟ, ඥාතීන් සමඟ, යහළු යෙහෙළියන් සමඟ තිබෙන සම්බන්ධතා සියල්ලටම බලපානවා. ඔවුන්ට ද එය එලෙසම බලපාන බව අප දන්නවා.
එලෙස කැපකිරීම් කරමින් ඔබ සැම ලබා දෙන සේවයට ස්තූතිය පුදකරන්න මම මෙය අවස්ථාවක් කර ගන්නවා.
අපේ රජයේ ප්‍රතිපත්තිය අනුව “පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” සියලුම දෙනාට ලඟා කර දීම අපේ මූලික අරමුණයි. ලස්සන ජීවිතයක් තුළ හොද සෞඛ්‍යමත් පුරවැසියෙක් බිහි කිරීම අතිශයින්ම වැදගත්. කායික වශයෙන් පමණක් නොව මානසික වශයෙන්ද සුවපත්ව සිටීම අතිශයින්ම වැදගත් දෙයක්. ඒ සදහා රජයක් ලෙස සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම තුල එහි තිබෙන වෘත්තීන් වෙත අවශ්‍ය පහසුකම්, පුහුණුවීම් ලබා දීමටත් කැප වී සිටිනවා.
හෙද හෙදියන් සදහා දේශීයවත් විදේශීයවත් විශාල ඉල්ලුමක් තිබෙනවා. ඔබේ වෘත්තීය ගෞරවය රැක ගැනීම සදහා ගැලපෙන වැටුපක්, අවශ්‍ය උසස්වීම්, දැනුම වර්ධනය කර ගැනීමට අවශ්‍ය පුහුණුවීම් ලබා දීමට අපි කටයුතු කරනවා. රැකියා ස්ථානය මානසික හා කායික වශයෙන් යහපත් ලෙස පවතින ආරක්ෂාකාරී ඉතා හොද පරිසරයක් ගොඩ නැගීම අතිශයින්ම වැදගත් දෙයක්. මේ සියලු දේ සදහා ඔබගේ අමාත්‍යවරයා හා අමාත්‍යාංශය මැදිහත් වන බව විශ්වාසයි.
හෙද සේවයේ වැඩිපුරම දකින්න ලැබෙන්නේ කාන්තාවන්. අපේ සමාජය තුල බිරිඳකගෙන්, මවකගෙන් බලපොරොත්තු වෙන වගකීම් රාශියක් තිබෙනවා. හෙදියක් වූ පමණින් ඒවා මග අරින්න බැහැ. අපි රජයක් විදියට මේ සම්බන්ධව සංවේදී වෙනවා වගේම ඔබේ පෞද්ගලික ජීවිතයත් හොඳින් ගත කරන්න හැකි පරිසරයක් ගොඩ නගන එකත් අපේ වගකීමක්” ලෙස ගෙන කටයුතු කරන බව ද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස-
“මේ තමයි හෙද සේවයට එකවර පත්වීම් ලබා දෙන විශාලම ප්‍රමාණය. නව රජය පත් වූවාට පසු රාජ්‍ය සේවයට එකවර බඳවා ගන්නා විශාලම කණ්ඩායම.
අපි ඉන්නේ පුනරුද යුගයක. අපි කවුරුත් මේ රට වෙනස් කිරීමේ අරමුණින් ඇප කැප වෙලා වැඩ කරන අය. අපිට විශාල බලාපොරොත්තුවක් තිබෙනවා රටේ අනාගතය පිළිබඳව. ඒ බලාපොරොත්තු ඉටු කර ගන්න නම් ඔබත් ඇතුලුව සියලු දෙනාම ආණ්ඩුව පමණක් නොවෙයි සමස්ත රාජ්‍ය සේවාවම ඒ අරමුණින් කටයුතු කල යුතුයි. අපි බලාපොරොත්තු වෙනවා රාජ්‍ය සේවය මාතෘත්වයේ ගුණාංග සහිතව කටයුතු කරයි කියලා. රාජ්‍ය සේවාව කාර්යක්ෂමව, ඵලදායීව හා නිවැරදිව මනුෂ්‍යත්වයෙන් සපිරිව කටයුතු නොකළහොත් අපි බලාපොරොත්තු වන ප්‍රගමනයට පුනරුදයට ගමන් කරන්න ලැබෙන්නේ නැහැ. දැන් අප ඉන්නේ එවැනි අවස්ථාවක”
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු, නිලධාරීන් හා කාර්‍ය මණ්ඩලයේ පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.