හොරකම, දූෂණය සහ වංචාව සියයට 100ක්ම නවත්වන බවට ජනතාවට සහතික වන බවත්, වර්තමානයේ රට පරිවර්තනීය යුගයක ඇති අතර ඒ සඳහා වන දේශපාලනීය පරිවර්තනය හොඳින් සිදුවන බවට විශ්වාස කරන බවත් කෘෂිකර්ම, පශ සම්පත් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහතා පැවසීය.
හයිලන්ඩ් වරලත් අළෙවිසැල් 500ක් ආරම්භ කිරීම වෙනුවෙන් ඊයේ(22) කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති උත්සවයකට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසිය.
“විකිණීමට නියමිතව තිබූ ආයතනයක් වන මිල්කෝ ආයතනය පසුගිය රජයන් ගත් තීරණයක් අනුව අමූල් සමාගම සමඟ ඇති කරගත් එකඟතාවයක් අනුව අතපය දිග ඇරලා වැඩ කරන්න අමාරු තත්ත්වයක් තියෙනවා. NLDB සතුව අපේ ගොවිපළවල් 32ක් තියෙනවා. ලොකු රාජ්‍යය තාන්ත්‍රික පැටලවිල්ලක් නැතිවන ආකාරයෙන් ජාතියේ අවශ්‍යතාවය එක්ක කටයුතු කරන්න අපි සූදානම්.
මේ වසර තුළ අලෙවිසල් 500ක් සක්‍රීය කිරීමේ ක්‍රියාවලිය බැරෑරුම් කාර්යයක්. මේ වනවිට අලවිසල් 180ක් පමණ තියෙනවා. ඒ අනුව මේ වසර තුළ අලෙවිසැල් 500ක් දක්වා යාම ඉතා විශාල සංවර්ධනයක්. මෙම ව්‍යාපෘතිය රාජ්‍ය අංශයේ නිෂ්පාදන රාශියක් අන්තර්ගතව සිදුකරන අලවිසල් ජාලයක් වීම සුවිශේෂී කාරණයක්.
වත්මන් රජයේ ආර්ථික ප්‍රතිපත්තිය ගැන කියනවානම්, එය ආර්ථික ප්‍ර ප්‍රජාතන්ත්‍රවාදයක්. මින් පෙර ආර්ථිකය තිබුණේ කල්ලි ගැසුණු සුළු පිරිසක් අතේ. ආර්ථික ප්‍රජාතාන්ත්‍රවාදය කියන මූලධර්මය යටතේ හැම කෙනෙකුටම ආර්ථික ක්‍රියාවලියට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ සඳහා අවස්ථාවක් තියෙනවා. ආර්ථික ක්‍රියාවලියට සම්බන්ධ වන සියලු දෙනාම තමන්ගේ ප්‍රතිලාභයේ කොටස හරියටම ලැබෙන්න ඕන. සැමට සාධාරණ පංගුව ලබාදිය යුතුයි. එහෙම නැත්නම් මේ ආයතන කිසිවක් පවත්වාගෙන යාමට බැහැ.
කිරි නිෂ්පාදකයාට නිවැරදි සාධාරණ පංගුව ලැබෙන්න ඕන වගේම පාරිභෝගිකයාටත් එහි සාධාරණය ලැබෙන්න ඕනේ. උපාධිධාරයෙන් ඉල්ලන්නෙත් අපිට ආර්ථිකයට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලබා දෙන්න කියලා. රැකියාවක් ඉල්ලනවා කියන එකේ අර්ථය එයයි. හැම කෙනෙක්ම රටේ ආර්ථිකයට සම්බන්ධ කර ගැනීම තමයි අපේ අරමුණ. ව්‍යවසායකයින් 500ක් බිහි කිරීම ඒ සඳහා හොඳ ක්‍රියාමාර්ගයක්.
ආර්ථික සංහිඳියාව සඳහා ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍යයි.
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සතුව පවතින ඉඩම් ඉල්ලන්න ආවා දූරියන් වගාවට. මැලේසියාවට දූරියන් යවන්න අක්කර 500ක් ඉල්ලුවා.හේතුව විදේශ විනිමය උපයනවා කියලා. නමුත් අපේ අමාත්‍යංශයේ මූලික පදනම අපේ ජනතාවගේ ආහාර සුරක්ෂිතතාවය වෙනුවෙන් ආහාර බෝග නිෂ්පාදනය කිරීමයි.ඒ වෙනුවෙන් ලබාදිය යුතු ඉඩම් වෙනත් අරමුණු සඳහා අප විසින් ලබා දෙන්නේ නැහැ. නව ලිබරල්වාදය ගැන පසුගිය පාලකයෝ ගෙනාපු ආකල්පය තමයි, රජය ආර්ථික කටයුතුවලින් නිදහස විය යුතුයි කියන අදහස.
කල්කිරි බෝතලයක් බොන්න අදත් අපි හොයනවා. එවැනි නිෂ්පාදන වස විස නැති නිෂ්පාදන ලෙස සැකයකින් තොරව භාවිත කරන්න පුළුවන්. නව ලිබරවල්වාදය නාමෙන් සියලු වස විස වෙළඳපොළට ආවේ ඒ අනුවයි. ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය, මිල්කෝ වැනි ආයතනරජයෙන් අයින් කලේ මේ නව ලිබරල්වාදය එනම්, රජය ආර්ථිකයෙන් අයින් වීම නිසයි.
සියලු රාජ්‍ය ආයතන කඩා වැටීමේ ප්‍රතිඵලයක් විදියට රාජ්‍ය සේවයක් කඩන් වැටුණා.ඉස්සර රජයේ ආයතනවල වැඩ කරනවා කියන්නේ විශාල පිළිගැනීමක් තියෙන දෙයක්. නමුත් දැන් රජයේ සේවකයා දිහා බලන්නේ හොරා කියන ආකල්පය ඇතිවයි. මුළු රටම බිඳ වැටුණේ ක්ෂේත්‍ර දෙකක් නිසයි.පළවෙනි එක තමයි දේශපාලනය.දෙවැන්න රාජ්‍ය සේවය.
ප්‍රතිපත්තියක් වශයෙන් අපි කල්පනා කළා, මේ දෙක පළමුව හදන්න ඕන කියලා. මේ දෙක නොහදා රට හදන්න බැහැ. අපි ඉන්නේ රටේ පරිවර්තනය යුගයක. අපි විශ්වාස කරනවා දේශපාලන පරිවර්තනය හොඳින් කළ බව. හොරකම, වංචාව, දූෂණය සියයට සියයක් නතර කරලා තියෙනවා. පළාත් පාලන ආයතනවල යාන්ත්‍රණය පිහිටුවීමෙන් අනතුරුව හොරකම, වංචාව, දූෂණය සියයට සියයක් අවසන් කළ හැකියි.
රාජ්‍ය සේවයේ පඩි මදිනම් පඩි වැඩි කරගන්න පුළුවන්. ඒ සඳහා වෘත්තීය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. එවැනි දේට වෘත්තීය සමිතියක් වශයෙන් අපිත් උදව් කරනවා.”
මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී.වික්‍රමසිංහ මහතා, මිල්කෝ ආයතනයේ සභාපති හේමජීව ගෝඨාභය මහතා ඇතුළු ව්‍යාපෘතියට සම්බන්ධ නිලධාරීන් රැසක් එක්විය.