එක්සත් ජනපද තානාපති ජූලි චංග් අගමැතිනිය හමුවෙයි

එක්සත් ජනපද තානාපති ජූලි චංග්  අගමැතිනිය හමුවෙයි
  • SocialShare:

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති  ජූලි ජේ. චන්ග් මහත්මිය අතර හමුවක් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වීය.

එක්සත් ජනපද විදේශ ආධාර ශ්‍රී ලංකාවට ලබාදීමේ ක්‍රමවේදයන්  සහ දෙරට අතර තිරසර සහයෝගීතාව සඳහා දායක විය හැකි මාර්ග පිළිබඳව  මෙහිදී  සාකච්ඡාවට ගැනිණ.

එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විසින් පුළුල් සමාලෝචනයක් බලාපොරොත්තුවෙන් සිටින, විදේශ ආධාර සඳහා මෑතකදී පනවා ඇති මාස තුනක තාවකාලික අත්හිටුවීම් නියෝගය පිළිබඳව නියෝජිත පිරිස අග්‍රාමාත්‍යවරියට මෙහිදී පැහැදිලි කළහ.

 විශේෂයෙන් කාන්තාවන් සඳහා වන සුරැකුම් නිවාස ව්‍යාපෘතිය වැනි ප්‍රධාන සංවර්ධන වැඩසටහන් කෙරෙහි බලපෑම සහ ආධාරක යාන්ත්‍රණය කඩාකප්පල් වුවහොත් ඇතිවන පුළුල් මානුෂීය ගැටළු සඳහා ලබාගත හැකි විසඳුම් පිළිබඳව මෙම සාකච්ඡාවේදී  අවධානය යොමු විය.

සංවර්ධනයේ ගෝලීය ප්‍රමුඛයෙකු ලෙස එක්සත් ජනපදයේ තීරණාත්මක කාර්යභාරය සහ  ද්විපාර්ශ්වික සහයෝගීතාවය අඛණ්ඩව පවත්වාගෙන යාමේ වැදගත්කමද මෙහිදී අවධාරණය කෙරිණ. විශේෂයෙන්  ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රමුඛතා සඳහා අඛණ්ඩ සහයෝගය ලබාදීමට ඇති විකල්ප ක්‍රම හඳුනා ගැනීම සඳහා එක්සත් ජනපදය ගන්නා උත්සාහය පිළිබඳ මෙහිදී  අග්‍රාමාත්‍යවරියගේ විශේෂ  අවධානය යොමු විය.

 ආර්ථික ස්ථාවරභාවය ශක්තිමත් කිරීමේදී සහ රටේ දිගුකාලීන සංවර්ධන වැඩපිළිවෙලට සහාය වීමේදී  ඇමරිකාව පැන වූ තීරුබදු වල බලපෑම පිළිබඳව සාකච්ඡා විය.

USAID ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වැඩබලන මෙහෙයුම් අධ්‍යක්ෂ සහ වැඩසටහන් කාර්යාල අධ්‍යක්ෂිකා මොරීන් හසියා,  අවදානමට ලක්විය හැකි ජන කණ්ඩායම් පිළිබඳ කාර්යාලයේ වැඩබලන අධ්‍යක්ෂ ඇන්ජලිනා හර්මන්, ආර්ථික වර්ධන කාර්යාලයේ ව්‍යාපෘති කළමනාකරණ විශේෂඥ නිර්මි විතාරණ, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත, විදේශ කටයුතු අමාත්‍යංශයේ උතුරු ඇමරිකානු අංශයේ අධ්‍යක්ෂිකා ප්‍රමුදිතා මුණසිංහ යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.