අන්තර්ජාතික ජෛවවිවිධත්ව දිනය දඹුල්ල පොපම් ආබරේටම් වන උද්‍යානයේදී සමරයි

අන්තර්ජාතික ජෛවවිවිධත්ව දිනය දඹුල්ල පොපම් ආබරේටම් වන උද්‍යානයේදී සමරයි
  • SocialShare:

අන්තර්ජාතික ජෛවවිවිධත්ව දිනය සැමරීමේ උත්සවය අද (මැයි 22) පෙරවරුවේ දඹුල්ල පොපම් ආබරේටම් වන උද්‍යානයේදී පැවැත්වුණි.

ඒ පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙනි.

ඒ අනුව පරිසර සංචාරක ව්‍යාපාරය, සාම්ප්‍රදායික ආහාර, තිරසාර සංවර්ධනය සඳහා ප්‍රජා සහභාගීත්වය ප්‍රවර්ධනය කිරීම කේන්ද්‍ර කර ගනිමින් දඹුල්ල පොපම් ආබරේටම් වන උද්‍යානයේදී අද පැවති ජෛවවිවිධත්වය සඳහා වූ ජාතික සැමරුම අංශ කිහිපයකින් සමන්විත විය.

ජෛවවිවිධත්වයෙන් අනුන වූ එම වන උද්‍යානයේදී ශ්‍රී ලංකාවේ ඌණ භාවිත ආහාර හා පලතුරු ප්‍රදර්ශනයක් ප්‍රජාවගේ සහභාගිත්වයෙන් පැවති අතර එය නැරඹීමටද අමාත්‍යවරයා ඇතුලු නිලධාරින් එක් වූහ.

උත්සව සභාව අමතමින් පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පැවසුවේ පරිසර පද්ධතිය මෙන්ම ජෛවවිවිධත්වය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් රජයක් ලෙස ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවයි.

එය සමස්ත ප්‍රජාවගේම වගකිමක් බවද අමාත්‍යවරයා එහිදී සදහන් කළේය .

ශ්‍රී ලංකාවේ වර්තමාන ජෛවවිවිධත්වය පිළිබඳ මහාචාර්ය සිරිල් විජේසුන්දර මහතා විසින් ද "ඌන භාවිත ආහාර බෝග "ප්‍රවර්ධනය සම්බන්ධයෙන් මහාචාර්යය ගාමිණී පුෂ්පකුමාර මහතා විසින් ද එහිදී දේශනයන් සිදු කරනු ලැබු අතර රැස්ව සිටි පාසල් සිසුන්ටද එම දේශණ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මහගු පිටුවහලක් වනු ඇත.

එමෙන් ම ගෙවතු වගාව සහ මී මැසි පාලනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මී මැසි ජනපද සදහා හිමිකම් ලබාදීමේ සහතික පත්‍රයක්ද අමාත්‍යවරයා විසින් ඊට සම්බන්ධ ප්‍රදේශවාසින් වෙත පිරිනමනු ලැබීය.
.
ලොව ජෛවවිවිධත්වය කෙරෙහි එල්ල වී ඇති ගැටළු , අභියෝග මෙන්ම එහි වැදගත්කම පිළිබඳව අන්තර්ජාතික ප්‍රජාව දැනුවත් කිරීම සඳහා මෙම දිනය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කර ඇති අතර මෙවර එහි තේමාව වන්නේ "සොබාදහම සමඟින් තිරසර සංවර්ධනය" යන්නයි.

පෘථිවියේ සහ එහි ජීවීන්ගේ යහපැවැත්ම තහවුරු කිරීමට, අනුගමනය කළයුතු මූලික ප්‍රතිපත්තිය තිරසාර සංවර්ධනය යන්න අවබෝධ කරගනිමින් ලොව නායකයන් විසින් 1992 වසරේ බ්‍රසීලයේ රියෝ ද ජැනෙයිරෝ නගරයේදී පරිසරය හා සංවර්ධනය පිළිබඳ සමුළුව හෙවත් "මිහිකත සමුළුව" පවත්වනු ලැබූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ජෛවවිවිධත්ව ප්‍රඳප්තිය බිහිවිය.

ඒ අනුව ශ්‍රී ලංකාව ද 1992 දී එක්සත් ජාතීන්ගේ ජෛවවිවිධත්ව සම්මුතියට අත්සන් තැබූ අතර එය 1993 දෙසැම්බර් 29 වන දින සිටයි බලාත්මක විය.

එක්සත් ජාතීන්ගේ ජෛවවිවිධත්වය පිළිබඳ සම්මුතියෙහි ජාතික කේන්ද්‍රස්ථානය ලෙස පරිසර අමාත්‍යංශය කටයුතු කරන අතර ජෛවවිවිධත්ව අංශය එම සම්මුතියේ නියාමන කටයුතු සිදු කරනු ලබයි.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.