ගැරඬිඇල්ල මාරක අනතුර සම්බන්ධයෙන් රජයේ දැඩි අවධානය යොමු වී තිබෙනවා - ප්‍රවාහන අමාත්‍ය

ගැරඬිඇල්ල මාරක අනතුර සම්බන්ධයෙන් රජයේ දැඩි අවධානය යොමු වී තිබෙනවා - ප්‍රවාහන අමාත්‍ය
  • SocialShare:

ගැරඬිඇල්ල ප්‍රදේශයේ සිදුවූ මාරක බස් රථ අනතුර සම්බන්ධයෙන් රජයේ දැඩි අවධානය යොමුවී ඇති බවත් මේ හේතුවෙන් දිවි අහිමිවූ හා තුවාළ සිදුවූ මගී ජනතාවට රජයක් වශයෙන් උපරිම සාධාරණය සිදු කිරීමට කටයුතු කරමින් සිටින බවත් ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (14) එම අමාත්‍යංශයේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.
මෙම බසයේ රියැදුරු ඉතා යහපත් කල්ක්‍රියාවක් පෙන් වූ නිරෝගී අයෙක් බවත්, පරීක්ෂණ වල දී බසයේ තාක්ෂණික දෝෂ පිළිබඳව කිසිඳු හෝඩුවාවක් මෙතෙක් ලැබී නැති බවත්, එම මාර්ගය ද අඩපාඩු රහිතව නියම ප්‍රමිතියෙන් තිබෙන බවත්, ධාවනයට පෙර රථයේ නිසි පරීක්ෂණ සිදු ව ඇති බවත් මෙම සාකච්ඡාවේදී අනාවරණය වී තිබේ.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා :
“මෙම අනතුරෙන් මගීන් විසිතුන් දෙනෙකු මියගොස් පනස්හතර දෙනෙකු තුවාළ ලබා තිබෙනවා. තුවාළ සිදුවූ අය ගම්පොළ, පේරාදෙණිය, නුවරඑළිය, නාවලපිටිය, කොත්මලේ රෝහල්වලට ඇතුළත් කළා. එමෙන් ම මගීන් අතර වීරයනුත් සිටියා. තමන්ට වඩා අන් අය බේරගන්න ඔවුන් ක්‍රියා කළා. ප්‍රදේශවාසී ජනතාව අලුයම සිට ජීවිත බේරා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරුවා. රෝහල් කාර්ය මණ්ඩල දරාගත නොහැකි ලෙස තමන්ගේ සේවය ඉටුකළා. ශ්‍රී ලංගම ඩිපෝ කාර්ය මණ්ඩල, පොලීසිය ඉහළ මැදිහත්වීමකින් ක්‍රියා කළා. මෙවැනි විශාල ඛේදවාචකයක් තුළ ලංකාවේ මිනිසුන්ගෙන් පිළිබිඹු වූ සහෝදරත්වය අපි අගය කරනවා. මේ සියලු ව්‍යසනයන් අතරින් අපි දුටු රිදී රේඛාව තමයි ඒ සහෝදරත්වය.”
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා :
“දිවි අහිමිවූ විසිතුන් දෙනාට ජනාධිපති අරමුදලෙන් එක් අයෙකුට රුපියල් මිලියනය බැගින් මුදල් වෙන් කළා. එම මුදල් අද දින ඔවුන් ජීවත් වූ ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම් වෙත ගිණුම් ගත කළා. නිශ්චිත භාරකරුවන් හඳුනාගෙන ඔවුන් වෙත එම මුදල් කඩිනමින් ලබාදීමට පියවර ගනිමින් සිටිනවා.
කෙටිකාලීනව හා දිගුකාලීනව ප්‍රතිකාර අවශ්‍ය සියලුම රෝගීන්ට වෛද්‍ය වාර්ථා අනුව ජනාධිපති අරමුදලින් මූල්‍ය ආධාර ලබාදීමට ක්‍රියා කරනවා. රෝගීන් වෙනුවෙන් විශේෂ ශල්‍යකර්ම සඳහා අවශ්‍ය ශල්‍ය උපාංග සහ වෛද්‍ය උපකරණ කඩිනමින් ලබාදීමට පෞද්ගලිකව මැදිහත් වුණා. රක්‍ෂණ සමාගම් සමග සාකච්ඡා සිදුකර, ලබාදිය හැකි වන්දි මුදල් ලබාදීමට මැදිහත් වෙනවා.
කෙනෙකුගේ මරණයට මිළක් නියම කළ නොහැකි වුවත් ගමනා ගමන මණ්ඩලයේ පවතින ප්‍රතිපත්තියට අනුව ලබාදෙන රුපියල් විසිපන්දහසක මුදල ලබාදීමට කටයුතු කරනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ක්‍රිකට් කණ්ඩායම රෝගීන් සහ දරුවන් සඳහා දිගුකාලීනව උදව් කිරීමට, පැහැදිලි නිර්ණායක මත සහන ලබාදීමට ඉදිරිපත් වී සිටිනවා.
මේ අනතුර අපේ රටේ මාර්ගයක දී මෑත ඉතිහාසයේ සිදුවූ විශාලත ම ඛේදචාවකයක්. මේ පිළිබඳ ව අංශ කිහිපයක් ඔස්සේ පුළුල් විමර්ශන සිදු කරනවා. ඒ සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලිසිය, මාර්ග සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංගම යන ආයතන වෙන වෙනම පරීක්‍ෂණ සිදු කරනවා. මගීන්ගේ නිරීක්‍ෂණ සහ කොන්දොස්තර මහතාගේ ප්‍රකාශ අනුව සමස්ත වාර්තාව සකස්කර සැබෑ තත්ත්වය කඩිනමින් ඉදිරිපත් කරනවා. එමනිසා විකෘති කළ අදහස් ප්‍රකාශ කිරීමෙන් වළකින මෙන් සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිනවා.
මුළු ලංකාවම කම්පාවට පත්කළ මෙම ඛේදවාචකය මූලික කරගෙන ඉදිරියේදී ජීවිත ආරක්‍ෂාව, මාර්ග ආරක්‍ෂාව සහ රථවාහන ආරක්‍ෂාව තහවුරු කර ගැනීමට අපි මෙය අවස්ථාවක් කරගනිමු” යැයි ද පැවසී ය.
මෙම අවස්ථාවට ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් කපිල සී. කේ. පෙරේරා, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ටී. පාස්කරන්, ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති ජීවක ප්‍රසන්න පුරසිංහ, ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති පී. ඒ. චන්ද්‍රපාල, ශ්‍රී ලංකා පොලිසියේ රථවාහන පාලක හා මාර්ග ආරක්‍ෂණ කොට්ඨාශයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මනෝජ් රණගල යන මහත්වරු ඇතුලු නිලධාරීන් එක්විය.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.