බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන සමූහයක් ස්ථාපිත කිරීමට පියවර

බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන සමූහයක් ස්ථාපිත කිරීමට පියවර
  • SocialShare:

ප්‍රවාහන සේවාව කාර්යක්ෂම කිරීම වෙනුවෙන් බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන සමූහයක් ස්ථාපිත කිරීමට අදාළ විශේෂ සාකච්ඡාවක් ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ​පසුගියදා පැවැත්විණ.

මෙම බහුවිධ සංවර්ධන ව්‍යාපෘතිය මාර්ග සංවර්ධන අධිකාරිය සහ නාගරික සංවර්ධන අධිකාරිය ඒකාබද්ධව ක්‍රියාත්මක වේ.

ඒ අනුව මෙම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන මොරටුව, රාගම, කඩවත, ගම්පහ, මාළඹේ, අතුරුගිරිය, කටුනායක යන නගර සහ උපනගර කේන්ද්‍ර කර ගනිමින් ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර ඊට අදාළ සැලසුම් වාර්තා මෙහිදී ඉදිරිපත් කර ඇත

එසේම මහනුවර දිස්ත්‍රික්කය සහ ගාල්ල දිස්ත්‍රීක්කයේ දෙවට ප්‍රදේශය සඳහා ද මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබේ. දැනට ඉදිකිරීම් මට්ටමේ පවතින අනුරාධපුර ප්‍රවාහන මධ්‍යස්ථානයේ ඉදිකිරීම් සියයට හතළිහක් පමණ අවසන් වී ඇති බව ද මෙම සාකච්ඡාවේදී අනාවරණය විය.
නිසි ශක්‍යතා අධ්‍යයනයකින් පසු විධිමත් සැලසුමකට අනුව මෙහි ඉදිකිරීම් අරඹන ලෙස අමාත්‍යවරයා එහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

කොළඹ නගරය ආශ්‍රිතව දිගු කලක් පවත්වාගෙන යන රජයේ කාර්යාල කොළඹින් පිටතට විතැන් කිරීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ.

අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කලේ මධ්‍යම ගමනාගමන මණ්ඩලය (CTB) ජාතික ප්‍රවාහන කොමිසම (NTC) ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව (SLR) ඇතුලු ආයතනවල මනා ඒකාබද්ධ සම්බන්ධීකරණ ක්‍රියාවලියක් තුළ මෙම ඉදිකිරීම් සිදුකළ යුතු බවයි.

එමෙන්ම මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට එකඟතා ඇති කර ගත් සාධනීය කරුණු පිළීබඳව ජනාධිපතිවරයා දැනුවත් කරන බවත්, වඩාත් සංවිධාන ශක්තියක් ඇති කර ගෙන සැලසුම් කළ දින වකවානුවලට නිම කිරීමට, ක්‍රියා කරන ලෙස ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සහ අමාත්‍යංශය නියෝජනය කරමින් නිලධාරී පිරිසක් ද ව්‍යාපෘති භාර ආයතන ප්‍රධානීන්, විෂයය භාර නිලධාරීන් ඇතුලු පිරිසක් එක්විය.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.