ගෝලීය පාසල් පාදක ශිෂ්‍ය සෞඛ්‍ය සමීක්ෂණ වාර්තාව එළිදැක්වේ

ගෝලීය පාසල් පාදක ශිෂ්‍ය සෞඛ්‍ය සමීක්ෂණ වාර්තාව එළිදැක්වේ
  • SocialShare:

ගෝලීය පාසල් පාදක ශිෂ්‍ය සෞඛ්‍ය සමීක්ෂණය - 2024 (Global School-Based Student Health Survey – 2024) ශ්‍රී ලාංකීය වාර්තාව එළිදැක්වීම පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ජාත්‍යන්තර සංවිධාන නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පවුල් සෞඛ්‍ය කාර්යාංශ ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිණි.

ගෝලීය පාසල් පාදක ශිෂ්‍ය සෞඛ්‍ය සමීක්ෂණ වාර්තාවේ මුල් පිටපත මෙහි දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා ඇතුළු ආරාධිතයින් හට පිළිගැන්වීමට මෙන්ම සමීක්ෂණ වාර්තාවේ දත්ත පිළිබඳව විද්වත් කථිකාවතක් පැවැත්විමට  ද මෙහි දී කටයුතු කරන ලදි.

මෙම සමීක්ෂණ වාර්තාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්ෂණික හා මූල්‍ය සහාය ඇතිව සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක් ව එළිදක්වන ලද සමීක්ෂණ වාර්තාවකි. 

මෙම සමීක්ෂණය මගින් පෝෂණය, ආහාර, හැසිරීම සහ ශාරීරික ක්‍රියාකාරකම්, මානසික සෞඛ්‍යය, දන්ත සෞඛ්‍ය, මත්ද්‍රව්‍ය භාවිතය, සියදිවි නසාගැනීමේ සිතුවිලි, සැලසුම් සහ උත්සාහයන්, ප්‍රචණ්ඩත්වය, තුවාලවීම්, ලිංගික සෞඛ්‍ය, ඇතුළු  ක්ෂේත්‍ර රැසක් ඔස්සේ නව යොවුන් වියේ සෞඛ්‍ය නිරීක්ෂණය කිරීම් ආවරණය කර ඇත.

මෙහි දී අදහස් දක්වමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා කියා සිටියේ සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍රයන් දෙකෙහි ම ඇති කළ යුතු සාධනීය වෙනස්කම් සදහා මෙම දත්ත ඉතා වැදගත් වනු ඇති බවයි. මෙම සමීක්ෂණයේ ප්‍රතිඵල ඉතාමත් කාලීන මෙන් ම මහත් වටිනාකමකින් යුක්ත වන බව ද පෙන්වා දෙන ලදි. සෞඛ්‍ය හා අධ්‍යාපනය යනු එකිනෙකින් වෙන් කළ නොහැකි වැදගත් ක්ෂේත්‍රයන් දෙකක් බවත්, ළමුන්ගේ සෞඛ්‍ය හා සුවතාවය වැඩිදියුණු කිරීම සඳහා මුල්තැන දුන් විට වඩාත් සාර්ථක ලෙස ඔවුන් අධ්‍යාපනයේ ඵල නෙළාගන්නා බව පිළිගත් සත්‍යයක් බව ද පැවසී ය. දරුවන්ගේ සෞඛ්‍ය සදහා කරනු ලබන ඕනෑම ආයෝජනයක් රටේ අනාගතය සඳහා ම කෙරෙන්නක් බව ද සමීක්ෂණයේ ප්‍රතිඵල පාදක කරගනිමින් මෙම වැදගත් ක්ෂේත්‍ර දෙකෙහි සිදු කරන ප්‍රතිපත්තිමය හා උපායමාර්ගික වෙනස්කම් සියල්ල රටේ අනාගතය පෝෂණය කරනු ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දෙන ලදි.

පාසල් යන නව යොවුන් වියේ දරුවන් අතර සෞඛ්‍යයට අදාළ හැසිරීම් තක්සේරු කිරීම, බහු සෞඛ්‍ය ක්ෂේත්‍ර හරහා අවදානම් සහ ආරක්ෂිත සාධක හඳුනා ගැනීම, නව යොවුන් වියේ සෞඛ්‍යය සඳහා ප්‍රතිපත්ති සම්පාදනය සහ වැඩසටහන් සංවර්ධනය සඳහා සහාය වීම යන ප්‍රධාන අරමුණු 03 කේන්ද්‍ර කර 2024 වසරේ රජයේ පාසල් 40 ක 8-12 ශ්‍රේණිවල සිසුන් 3,843 ක් සම්බන්ධ කර ගනිමින් මෙම සමීක්ෂණය සිදු කර ඇත.

ගෝලීය පාසල් පාදක ශිෂ්‍ය සෞඛ්‍ය සමීක්ෂණයේ ප්‍රධාන ඇගයුම්කරු ලෙස කටයුතු කළ පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ යෞවන සෞඛ්‍ය පිළිබද ජාතික වැඩසටහන් සම්බන්ධීකාරක ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය චිරන්තිකා විතාන මහත්මිය විසින් මෙම සමීක්ෂණය වාර්තාවේ සම්පිණ්ඩනයක් ඉදිරිපත් කිරීමට ද මෙහි දී කටයුතු කළ අතර, ඉහත සමීක්ෂණය වාර්තාවේ දත්ත මත ඉදිරි ගමන් මඟ සකස් කරගත යුතු ආකාරය පිළිබඳව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ පාසල් සෞඛ්‍ය පිළිබඳ ජාතික වැඩසටහන් අධ්‍යක්ෂ ප්‍රජා විශේෂඥ  වෛද්‍ය අයේෂා ලොකුබාලසූරිය මහත්මිය ද කරුණු දක්වන ලදි.

ගෝලීය පාසල් පාදක ශිෂ්‍ය සෞඛ්‍ය සමීක්ෂණ වාර්තාවේ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ නව යොවුන් වියේ පසුවන්නන් මිලියන 22 ක ජනගහනය අතුරින් මිලියන 3.5 ක් (අවුරුදු 10-19) වේ. ඉන් 71% ක් පාසල් යන අය වන අතර 29% ක් පාසල් නොයන අය වෙති.

සමීක්ෂණයට ලක් කළ සිසුන්ගෙන් 17.4 %ක් සෞඛ්‍ය සම්පන්න නොවන බීම පරිභෝජනය කරන බවත්, ඉන් වැඩි පිරිසක් පිරිමි ළමුන් වන බව ද වාර්තාව පෙන්වා දෙයි. එමෙන්ම සිසුන්ගෙන් 28% ක් දිනපතා සීනි සහිත පාන වර්ග පරිභෝජනය කරන අතර, 28.5% ක් දිනපතා ලුණු සහිත කෙටි ආහාර පරිභෝජන කරන බව ද පෙන්වා දෙයි. මීට අමතරව 29.3% ක් අධික තෙල් සහිත ආහාර පරිභෝජනය කරන බවත්, 40.9% දිනපතා අධික සීනි සහිත ආහාර පරිභෝජනය කරන බව ද වාර්තාවේ සදහන් වේ. සිසුන්ගෙන් සියයට 70.4% ක් සමීක්ෂණයට පෙර ගත වූ සතියෙහි එක් වරක්වත් ක්ෂණික ආහාර අනුභව කර ඇති බව ද සදහන් ය. 

වයස අවුරුදු 13 ත් 17 ත් අතර සිසු සිසුවියන්ගේ  බර අඩු ප්‍රතිශතය 21.4 % ක් සහ අධිබර ප්‍රතිශතය 12.1 % ක් බව ද වාර්තා දත්ත තුළින් පෙන්වා දෙන අතර,  ස්ත්‍රී පුරුෂ භාවය සහ වයස අනුව, සිගරට් එකක් හෝ දෙකකින් දුම්පානය කිරීමට උත්සාහ කළ හෝ අත්හදා බැලූ සිසුන්ගේ ප්‍රතිශතය 12.8 % ක් බව ද වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය  හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ සහ අධ්‍යක්ෂ (මාතෘ හා ළමා  සෞඛ්‍ය) ප්‍රජා වෛද්‍ය විශේෂඥ චන්දිම සිරිතුංග, එක්සත් ජාතීන්ගේ ළමා ආරක්ෂක අරමුදලේ (UNICEF) ශ්‍රී ලංකාවේ නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත ආචාර්ය අලාකා සිං, එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ දේශීය අධ්‍යක්ෂ අබ්දුල් රහීම් සිද්දික්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය උපදේශක වෛද්‍ය නාලිකා ගුණවර්ධන, ප්‍රජා දන්ත වෛද්‍ය මහාචාර්ය දිලීප් ද සිල්වා, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය II) වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ, පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ හිටපු අධ්‍යක්ෂ මහජන සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා,  පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ යෞවන සෞඛ්‍ය පිළිබඳ ජාතික වැඩසටහන් සම්බන්ධීකාරක ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය චිරන්තිකා විතාන, පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ පාසල් සෞඛ්‍ය පිළිබද ජාතික වැඩසටහන් සම්බන්ධීකාරක ප්‍රජා විශේෂඥ  වෛද්‍ය අයේෂා ලොකුබාලසූරිය යන මහත්ම මහත්මීන් ඇතුළු අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.