පුරවැසියාගේ ආරක්ෂාව වෙනුවෙන් රජය සෑම විටම පෙනී සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
පසුගිය දිනවල සංවිධානාත්මක අපරාධ කල්ලි සිදුකළ ක්‍රියා සම්බන්ධයෙන් අද (25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
මේ සිදුවෙමින් පවතින්නේ සංවිධානාත්මක අපරාධ කල්ලි අතර ගැටුමක් බවත් කැබිනට් ප්‍රකාශකවරයා පැහැදිළි කළේය.
"මේ සිදුවෙමින් පවතින්නේ සංවිධානාත්මක අපරාධ කල්ලි අතර ගැටුමක්. මේ සම්බන්ධයෙන් අපි පැහැදිළිව කියා තිබෙනවා. නමුත් මෙම සිදුවීම් දඩමීමා කරගෙන ජාතික ආරක්ෂාව අනතුරේ බව කියන්නට ලොකු කැම්පේන් එකක් දියත්වෙමින් පවතිනවා.
සංචාරකයන් සහ ආයෝජකයන් මෙරටට පැමිණෙන අවස්ථාවේ රටේ ආරක්ෂාව නැහැ කි කියන්න ඇතැම් කණ්ඩායම් උත්සාහ කරමින් ඉන්නවා. අපි පැහැදිළිව කියනවා.ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නැහැ. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය තීන්දු තීරණ ගනිමින් ඉන්නවා.
අපි යළිත් පැහැදිළිව කියනවා. මෙය සංවිධානාත්මක අපරාධ කල්ලි අතර ගැටුමක් . උසාවියක් ඇතුළත ඝාතනය වූ පළමු පුද්ගලයා මොහු නොවෙයි. සිදුවීම් සම්බන්ධයෙන් අදාළ විමර්ශන කටයුතු වේගවත්ව සිදුවෙනවා."
සංචාරකයන් සහ විවිධ ආයෝජන රටට පැමිණෙන අවස්ථාවේදී , රටේ නීතිය සහ ජාතික ආරක්ෂාව අනතුරේයැයි කියමින් , මෙවැනි සිදුවීම් පටලවමින් කටයුතු නොකරන්නැයිද කැබිනට් ප්‍රකාශකවරයා ඉල්ලා සිටියේය.