ලෝකය ඉදිරියේ ශ්‍රී ලංකාව සම තරගකරුවෙක් බවට පත් කිරීම රජයේ අපේක්ෂාවයි

Unpublished
ලෝකය ඉදිරියේ ශ්‍රී ලංකාව සම තරගකරුවෙක් බවට පත් කිරීම රජයේ අපේක්ෂාවයි
  • SocialShare:
  • -The Innovation Island Summit – 2025 සමුළුව අමතමින් ජනපති පවසයි

නවෝත්පාදන ක්ෂේත්‍රයේ සම- තරගකරුවෙක් නොවන ශ්‍රී ලංකාව,  අනෙකුත් රාජ්‍ය හා සම-තරගකරුවෙකු බවට පත් කිරීම රජයේ අපේක්ෂාව බවත් මෙම ඉලක්කය සපුරා ගැනීමේදී ඩිජිටල්කරණය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ඒ වෙනුවෙන් නවෝත්පාදන ක්ෂේත්‍රයේ විශාල පරිවර්තනයක් සිදු කළ යුතුව තිබෙන බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

‍ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ කොළඹ ITC රත්නදීප හෝටලයේ ඊයේ (20) පැවති The Innovation Island Summit - 2025 සමුළුව අමතමිනි.

The Innovation Island Summit - 2025 සමුළුව ශ්‍රී ලංකාව තුළ පැවැත්වීම ඔස්සේ පිළිඹිබු වන්නේ මෙරට නවෝත්පාදනය කෙරෙහි නව ව්‍යවසායකත්වය  තුළ පවතින උනන්දුව සහ අපේක්ෂාව බව පැවසූ ජනාධිපතිවරයා  මානව ශිෂ්ටාචාරයේ විවිධ අදියර අප හඳුනාගෙන තිබෙන බවත්, එම මානව ශිෂ්ටාචාරයේ සෑම අලුත් පරිච්ඡේදයක්ම ලියැවෙන්නේ නවෝත්පාදන හරහා බවත් සඳහන් කළේය.

සෑම විටම මිනිස් ශිෂ්ටාචාරය නව අදියරකට ඔසවා තබන්නට නවෝත්පාදන සිදු කළ කාර්යභාරය ඉතා වැදගත් බවත්, මිනිසුන්ගේ අවශ්‍යතා වෙනස් නොවන නමුත් අවශ්‍යතාවය සපුරා ගන්නා ආකාරය වෙනස් වී තිබෙන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

අලුත් අවශ්‍යතා සපුරා ගන්නා මාලිදිය විසින් වෙළෙඳපොළ නිර්මාණය කරන බවත්, නව වෙළෙද පොළක් ඇති වන්නේ අවශ්‍යතා සපුරා ගැනීමේ මාදිලිය වෙනස් වුවහොත් පමණක් බවත් සඳහන් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලෝකයේ රටවල් ජයග්‍රහණ අත්පත් කරගෙන තිබෙන්නේ ඔවුන් වෙනස් වන මාදිලිය  හඳුනාගෙන එය අත්පත් කර ගැනීම නිසා බවත්, අසල්වාසී ඉන්දියාව ඊට හොදම නිදර්ශනයක් බවත් කියා සිටියේය.

අපේ රටේ නවෝත්පාදන සඳහා විශාල අවස්ථා තිබෙන බව පැවසූ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව 2030 වසර වන විට ඩිජිටල්කරණයේ නව මාවතක් කරා ගෙන යෑමට අපේක්ෂා කරන බවද පැවසීය.

නවෝත්පාදන සඳහා මෙවර අයවැයෙන් ප්‍රමුඛතාවක් ලබා දී ඇති බව කී ජනාධිපතිවරයා නව සොයා ගැනීම් වාණිජකරණය වෙනුවෙන් යොදාගත යුතුව තිබෙන බව ද පැවසීය.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.