මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර දීර්ඝ කාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් ඊයේ(20) පැවැත්වුණි.
ඒ මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය Abdulla Khaleel මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමු වූ අවස්ථාවේදීයි.
මෙරට ආර්ථිකයේ කැපී පෙනෙන ප්‍රගතිය පිළිබඳව ප්‍රශංසා කළ අමාත්‍යවරයා, සැලසුම් වලට අනුගත වීමේ හැකියාව පිළිබඳව විශ්වාසය පළ කළේය. නායකයන් දෙදෙනාම තම ආර්ථිකය තුළ සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රධාන භූමිකාව පිළිබඳ සාකච්ඡා කළ අතර දෙරට අතර සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා පවතින හැකියාවන් පිළිබඳවද අදහස් හුවමාරු කර ගත්හ. දෙරට අතර අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවට පැමිණෙන මාලදිවයින් ජාතිකයින් සඳහා වීසා බලපත්‍ර ක්‍රියාවලිය විධිමත් කිරීම පිළිබඳවද මෙම හමුවේදී සාකච්ඡා කෙරිණ. මිනිසුන් අතර සම්බන්ධතාවය ශක්තිමත් කිරීම සඳහා වඩාත් සුමට සංචාරක ක්‍රියා පටිපාටියක් වෙනුවෙන් පහසුකම් සැලසීමේ වැදගත්කම පිළිබඳව නායකයින් දෙදෙනාම එකඟතාව පල කළහ.
මෙම හමුවට මෙරට මාලදිවයින් මහ කොමසාරිස් Masood Imad, සහ මහ කොමසාරිස් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් පිරිසක් එක්ව සිටියහ.
අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත, විදේශ කටයුතු අමාත්‍යංශයේ දකුණු ආසියානු සහ SAARC කලාපය පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් නිලුක කදුරුගමුව සහ එම අමාත්‍යංශයේ දකුණු ආසියානු කලාපය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රශාන්ති ක්‍රිෂ්ණමූර්ති යන මහත්ම මහත්මීන් ශ්‍රී ලංකා දූත පිරිසට ඇතුළත් විය.