බුද්ධිමය දේපළ ලේඛන ඩිජිටල්කරණය කිරීමට අනුමැතිය

බුද්ධිමය දේපළ ලේඛන ඩිජිටල්කරණය කිරීමට අනුමැතිය
  • SocialShare:

ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ ලේඛන ඩිජිටල් කරණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙයි.

ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ කාර්යක්ෂමතාව, නිරවද්‍යතාව සහ ප්‍රවේශතාව වැඩිදියුණු කිරීමේ අරමුණින් එහි ලේඛන ඩිජිටල්කරණය කිරීම රටේ බුද්ධිමය දේපළ පරිපාලනය සහ බලාත්මක කිරීම උදෙසා අත්‍යවශ්‍ය පියවරක් බවට හඳුනාගනු ලබයි.

මාර්ගගත ලියාපදිංචි කිරීමේ පහසුකම්, ඉලෙක්ට්‍රොනික ගොනු කිරීමේ හා වාර්තා තබා ගැනීමේ පද්ධතීන්, අධිලේඛනගත වාර්තා ඩිජිටල්කරණය සහ එබඳු ඩිජිටල්කරණ වැඩසටහන් යටතේ මාර්ගගත සන්නිවේදන වේදිකා හඳුන්වා දීම මඟින් වඩා විශ්වසනීය, වඩා වේගවත් සහ පරිශීලක හිතකාමී බුද්ධිමය දේපළ සේවා සැලසීමට අපේක්ෂා කරයි.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ මෙහෙයුම් වඩාත් කාර්යක්ෂමව හා ඵලදායීව ඉටු කිරීමට පහසු වෙයි.

එකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 70.2 ක් වටිනා තාක්ෂණික සහ සේවා ප්‍රදානයක් ලබා දීමට ලෝක බුද්ධිමය දේපළ සංවිධානය එකඟ විය.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ ලේඛන ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටත්, යෝජිත ප්‍රදානය ලබා ගැනීම පිණිස ලෝක බුද්ධිමය දේපළ සංවිධානය සමඟ සහයෝගිතා ගිවිසුමකට අත්සන් තැබීමටත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.