මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ ජාතික හා ජාත්‍යන්තර දස්කම් දක්වන සෞඛ්‍ය සේවිකා දර්ශනී චන්ද්‍රරත්නට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගෙන් සුභාශිංසන

මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ ජාතික හා ජාත්‍යන්තර දස්කම් දක්වන සෞඛ්‍ය සේවිකා දර්ශනී චන්ද්‍රරත්නට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගෙන් සුභාශිංසන
  • SocialShare:

පසුගිය 09 දින සිට 12 දින දක්වා (2025 ජනවාරි) ඉන්දියාවේ බැංගලෝර් නුවර පැවැති දකුණු ආසියානු ප්‍රවීණයින්ගේ මලල ක්‍රීඩා උළෙලට එක්වෙමින් රන්, රිදී සහ ලෝකඩ පදක්කම් දිනාගත් පොළොන්නරුව රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායක තනතුරේ සේවය කරන දර්ශනී චන්ද්‍රරත්න ක්‍රීඩිකාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා‌ පසුගිය දා සුබපැතුම් එක් කරන ලදි.

මැදිරිගිරිය, වැලිගම්පුර, මහ අඹගස්වැව නම් දුෂ්කර ප්‍රදේශයක පදිංචි ව මලල ක්‍රීඩාවෙන් ජාතික හා අන්තර්ජාතික දක්ෂතා දක්වමින් ලොවක් දිනන්නට සැරසෙන දර්ශනී චන්ද්‍රරත්න ක්‍රීඩිකාව පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී හමු වූ අතර, එහි දී අමාතවරයා ඇය පසුගිය කාලය පුරා ජාතික හා ජාත්‍යන්තර වශයෙන් මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ දක්වන ලද දක්ෂතා අගයමින් සුබපැතුම් එක් කිරීමට කටයුතු කළේ ය.

2025 වර්ෂයේ ඉන්දියාවේ බැංගලෝර් නුවර පැවැති දකුණු ආසියානු ප්‍රවීණයින්ගේ මලල ක්‍රීඩා උළෙලට එක්වෙමින් මීටර් 1500 සහ 400 දිගු දුර සහ කෙටි දුර දිවීමේ තරග වලින් රන් පදක්කම් දිනා ගන්නා දර්ශනී මීටර් 5000 සහ 800 දිවීමේ තරග වලින් රිදී පදක්කම් දිනා ගැනීමට සමත් ව ඇත. තව ද මීටර් 100x4 ‍සහාය දිවීමේ තරගයට සහභාගී ව ලෝකඩ පදක්කමක් සහ මිටර් 400x4 සහාය දිවීමේ ‍ තරගයෙන් රිදී පදක්කමක් දිනා ගැනීමට ද ඇය සමත් ව ඇත.

2019 වසරේ මැලේසියාවේ පැවැත්වුණු ආසියානු ප්‍රවීණයින්ගේ ක්‍රීඩා උළෙලට ද එක්ව ඇති ඇය මීටර් 800 සහ 1500 මලල ක්‍රීඩා ඉසව් නියෝජනය කරමින් රිදී පදක්කම් දිනා ගැනීමටත්, 2023 වසරේ පිලිපීනයේ මැනීලා නුවර ආසියානු ප්‍රවීණයින්ගේ මලල ක්‍රීඩා උළෙලට සහභාගි වී මීටර් 5000 දුර දිවීමේ තරගයෙන් රිදී පදක්කමක් සහ 400X4 සහාය දිවීමේ තරගයෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ද සමත්ව ඇත.

පොළොන්නරුව රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායක තනතුරේ සේවය කරන ඇය හට රෝහල් කාර්ය මණ්ඩලය ද සිය ක්‍රීඩා දක්ෂතා උදෙසා සහයෝගය ලබාදෙන බව ද මෙහි දී අනාවරණය වු අතර සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා, ඉදිරියේ දී ඇයගේ ක්‍රීඩා කෞෂල්‍ය වර්ධනය කර ගැනීමට අමාත්‍යංශය වෙතින් ලබාදීය හැකි සෑම සහයෝගයක් ම ලබාදීමට කටයුතු කරන බව ද පැවසීය.

චන්ද්‍රරත්න ක්‍රීඩිකාවගේ පවුලේ සාමාජිකයන් ද මෙම අවස්ථාවට එක් වුහ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.