සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ පත්වීම සිදු කළේ, පනතට අනුව බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.පී.රත්නායක මහතා පැවසීය.
සබරගමුව මහ සමන් දේවාලයේ භාරකාරීත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා අද(06) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා බව සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක් වූ කොමසාරිස් ජනරාල්වරයා,
“සබරගමුව සමන් දේවායේ තනතුරු 2023 ජූලි මාසයෙන් අවසන් වුණා. පනත ප්‍රකාරව බස්නායක නිලමේ තනතුර සඳහා නැවත වසරක්, දීර්ඝ කරන ලෙස ඉල්ලීම් කළ හැකියි. ඒ අනුව හිටපු ජනාධිපතිවරයා හිටපු බස්නායක නිලමේවරයාගේ කාලය වසරකට දීර්ඝ කළා. ජනපතිවරයාට තවත් වසරක් සඳහා මෙම තනතුර දීර්ඝ කළ හැකියි. ඒ් අනුව පැවති මැතිවරණ කාලසීමාව නිසා තවත් මාස 06කට බස්නායක නිලමේ තනතුරු දීර්ඝ කළා. ඒ් අනුව පසුගිය දෙසැම්බර් මාසයේ එම තනතුර අවසන් වුණා. ජනපතිවරයාට දීර්ඝ කරන්න පුළුවන් දෙවතාවක් පමණයි. පනත ප්‍රකාරව දෙවතාවකට වඩා දීර්ඝ කරන්න බැහැ.
ඒ් අනුව ඡන්දය පැවැත්වීම සඳහා, අද (06) දිනමිණ පත්තරේ දැන්වීම ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඒ අනුව පෙබරවාරි 11 වැනිදා තෝරාගැනීමේ රැස්වීම සමන් දේවාලයේ පවත්වන්න කටයුතු යොදා තිබෙනවා. ඒ අතරතුර තමයි එක එක කතන්දර එන්නේ. ඒවායේ පදනමක් තියෙනවාද කියන එක මට කියන්න බෑ.”
මෙම අවස්ථාවට එක් වූ බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් ඒ.එම්.පී.එම්.බී අතපත්තු මහතා පැවසුවේ පනතින් පිට කිසිදු කටයුත්තක් සිදු වී නැති බවයි.